අසීරු දරු ප්‍රසූති පහසු කිරීමට උපකරණයක් - Device to help women during difficult births

ස්වාභාවික දරු උපත් සිදුවන අවස්ථාවලදී සමහර විට දරු ප්‍රසූතිය අසීරුවන අවස්ථාද දැකගත හැකියි. අසීරු දරු ප්‍රසූති පහසු කිරීමට විවිධ ක්‍රම හා උපකරණ කලින් කලට විද්‍යාව විසින් ලොවට දායාද කරයි.

එවැනි එක් නිපදවීමක් ආජන්ටිනාවේ මොටර් රථ කාර්මික ශිල්පියෙකු වන ජෝර්ජ් ඩඩොන් විසින් ලොවට ඉදිරිපත් කර තිබේ. 2005 වර්ෂයේ ඔහුගේ සිතට ඇතුළු වූ අදහස් මත මෙම උපකරණය යථාර්ථයක් බවට පත්කර, මේ වනවිට සාර්ථක දරු උපත් සිය ගණනක් සිදුකරන්නට උපකාර ලබාදීමට එයට හැකි වී තිබේ. වීදුරු බෝතලයක් තුළට වැටුණු කිරල ඇබයක් ඉවතට ගැනීමට යොදාගන්නා ක්‍රමයක් දරු උපතක් පහසුකිරීමට යොදාගත හැකි බවට ඔහුගේ සිතට ආ සිතුවිලි මෙලෙස බිඩෝම් විසින් යථාර්ථයක් බවට පත්කර තිබේ.

මවකගේ යෝනි විවරයෙන් ඇතුළු කරන ඝන පොලිතීනයකට හුළං යවා, උපත් මාර්ගයේ සිරවී සිටින දරුවාගේ හිස ආවරණය වන ලෙස පොලිතීනය සකස්කර දරුවා ඉවතට ඇදීම මෙයින් සිදුකෙරේ. අඬු ප්‍රසූතියකදී දරුවාගේ හිසට අඬු දමා ඇදීම තුළින් සිදුවන හානි මෙයින් අවම කරගත හැකිය.


දරුවා උපතින් පසු හුස්ම ගැනීම ආරම්භ කරන බැවින් පොලිතීනයකින් හිස ආවරණය කර උපත පහසු කිරීම ගැටලුකාරී නොවන බව වෛද්‍යවරුන් පෙන්වා දී ඇත. ඔඩොන්ගේ මෙම උපකරණයේ මුල් ආකෘතිය ගර්භාෂයක් හැඩැති වීදුරු භාජනයක් හා බෝනික්කෙකු යොදවා සකසා ඇත. ඉන්පසු විවිධ වෛද්‍ය කණ්ඩායම් හා ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මෙම ක්‍රමය පිළිබඳ අවධානය යොමුකර එම උපකරණය භාවිතයට ගැනීම පිළිබඳ සියලු තත්ත්ව පරීක්ෂා කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාකරයි.

ප්‍රථම වරට මෙම උපකරණය හරහා දරු ප්‍රසූතියක් සිදුකෙරුණේ තිස්හැවිරිදි මාරියානා නමැති ගුරුවරියක ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වෙමිනි. ඇයගේ දෙවැනි දරු ප්‍රසූතිය ඕඩෙන්ගේ උපකරණය හරහා සිදුවූ අතර, ඒ පිළිබඳව අදහස් දක්වමින් ඇය මාධ්‍යයට පවසා තිබුණේ තමාට කිසිදු වේදනාවක් හෝ අපහසුතාවක් නොදැණුනු බවයි. ඉන්පසු මෙම උකරණය හරහා ආජන්ටිනාවේදී සාර්ථක දරු ප්‍රසූති 30 ක් පරීක්ෂණ මට්ටමෙන් සිදුකර තිබේ. වර්තමානය වනවිට එම උපකරණය හරහා අසීරු දරු ප්‍රසූති සියගණනක් සාර්ථකව සිදුකර ඇත.

මෙම උපකරණය හරහා එච්.අයි.වී. ආසාදිත මවකගේ රුධිරය දරුවාට මිශ්‍ර නොවන ලෙස දරු ප්‍රසූති සිදුකිරීමට හැකියාවක් ඇති බවද වෛද්‍යවරු පවසති. එසේම වෛද්‍යවරයෙකුගේ සහාය නොමැතිව පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියකට වුවද අසීරු දරු ප්‍රසූතියක් පහසු කරගැනීම සඳහා මෙම උපකරණය භාවිතයට ගැනීමට හැකියාවක් පවතින බවද මෙම උපකරණ පරීක්ෂා කර බැලූ වෛද්‍යවරු පවසා තිබේ. ඉදිරියේදී අප්‍රිකානු, ආසියානු හා යුරෝපීය රටවලටද මෙම උපකරණ බෙදාහැරීම සඳහා ඇමෙරිකානු නිෂ්පාදන සමාගමක් ඔඩොන් සමග අත්වැල් බැඳගෙන සිටියි.

දරැ ප්‍රසූතිවලදී ඇතිවන සංකූලතා හේතුවෙන් ලෝකයේ වාර්ෂිකව මියයන හා අනතුරට ලක්වන මිලියන 5.6 ක් වන බිළිඳුන් ගණන අඩුකරගැනීමට මෙන්ම දරු ප්‍රසූතිවලදී වාර්ෂිකව මියයන ලෝකයේ ලක්ෂ තුනකට ආසන්න මවුවරුන් ගණනද මෙයින් අවම කරගැනීමට හැකිවනු ඇතැයි වෛද්‍යවරුන් සුබදායී මත පළකර තිබේ.



බී.බී.සී. ඇසුරෙනි

මෙම ප්‍රවෘත්තියට අදාල වීඩියෝය පහතින් නරඹන්න

 

History of birthing instruments

Gossip Lanka Hot News Previous News Archive