මම තාම පොඩි ළමයෙක් - Hirunika Premachandra

සමහරු කියනවා මගේ ලස්සනට ඡන්දෙ දෙනවා කියා.... එහෙම කරන්න එපා. ලස්සනට හැඩි දැඩි සිරුරට පසුගිය කාලේ ඡන්දෙ දිලා වෙච්ච දේවල් අමතක කරන්න එපා. මගේ දක්‍ෂකම අගය කර එයින් වටිනාකමක් ගන්න ඔබගේ වටිනා ඡන්දය භාවිත කරන්න යැයි නීතිඥ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනෙවිය ප්‍රකාශ කළාය.

ඇය එසේ ප්‍රකාශ කළේ කොටිකාවත්ත චතුමී හෝටලයේ ඉකුත් 19 වැනි දින රාත්‍රි පැවැති විශේෂ මැතිවරණ ප්‍රචාරක රැලියක් අමතමිනි.
නීතිඥ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනෙවිය මෙසේද කීවාය.

සමහරු මට මැඩම් කියනවා, මිස් කියනවා.... මම එහෙම අමතනවාට කැමැති නෑ... මම තාම පොඩි ළමයෙක් ඔයාලා මට දුවේ කියා අමතන්න. ඒක මට හොඳටම ප්‍රමාණවත්. මගේ පියා ඝාතනයට ලක්වන තුරුම ජනතාව ඇමැතුවේ ලකී අයියා කියා. එතුමාට කවුරුත් වෙන නමක් කීවේ නෑ. මටත් එහෙම අමතන්න.මගේ පියා මරණයට පත්වුණු දිනයේත් මම ඔහුගේ ඇකයේ සිටියේ. දුවේ උකුලෙන් බහින්න කියන විට මම ඇහැව්වා ඇයි මගේ තාත්තට මාව දැන් බර වැඩිද කියා. මගේ සෙවණැල්ල වන් මගේ පියා මට අහිමි කළ අයට ජනතාව පසුගිය දවසක හොඳ පිළිතුරක් දුන්නා. ඉදිරියේදී ඊටත් වඩා හොඳ පිළිතුරක් ලබා දේවි.


මම මේ ජනතාවට දේශපාලන පොරොන්දු දෙන්නේ නෑ. අරවා දෙන්නම් මේවා දෙන්නම් කියා ජනතාව රවටන්න මට බැහැ. මගේ පියාත් ඒවා ප්‍රකාශ කළේ නෑ. ඔහු ළඟ තිබුණෙත් හොඳ හිත පමණයි. මට ඉතිරි කරලා ගියෙත් ඒ හොඳ හිත පමණයි. මම එය මගේ පියාගෙන් මට ලබාදුන් ඉදිරියට මා සමඟ සිටින සමස්ත ජනතාවට බෙදා දෙනවා.

පසුගිය කාලේ සමහර අය මේ ප්‍රදේශවල ජනතාවට පොල්, හාල්, තහඩු වැනි දේවල් බෙදුවා. මේවා නෙවේ අද ජනතාවට අවශ්‍යය. ඒ ජනතා සේවයයි. මගේ ගමන මෙතැනින් නතර වෙන්නේ නෑ. යාහැකි ඉහළටම යනවා. එහි ආරම්භය අද කියා මට හිතෙනවා.

මට අවශ්‍ය ජාති ආගම් භේදයකින් තොරව සැමට එක් ආකාරයකට සේවය කිරීමයි. මගේ පියා දිවි පුදා රැකදුන් ඒ මනුෂ්‍යත්වයේ දේශපාලනය මට ශක්තියක්. මිනිස්කම හඳුනන හදවතක් මට මගේ පියා ලබා දුන්නා. මගේ පියාගේ මුළු දිවියම කැපවුණේ ජනතාවගේ සුබසෙත උදෙසායි. මමත් යන්නෙ ඒ මාර්ගයේමයි. මගේ පියා පොදු ජනතාවගේ දුක, කඳුළ, යුක්තිය වෙනුවෙන් හැමදාම පෙනී හිටියා. අනේක දුක් වේදනා විඳින ජනතාව ඉදිරියේ තෙත්වන හදවතක් ඔහු සතුව තිබුණා. යුක්තිය ජයගන්නා තුරුම එඩිතරව ඔහු සටන් කළා. මමත් මගේ පියාමෙන් ඔබේ ජීවිත අරගලය සමඟ එක්වී එඩිතරව සටන් කරනවා. මගේ අරමුණට ළඟා වී මිසක මගේ සටන අත්හරින්නේ නෑ. ඒ ගමන යෑමට මාත් සමඟ ඔබලා ඉන්නා බව මම දන්නවා. ඒක මට සහතිකයි. මට දේශපාලනය කියන්නේ අලුත් දෙයක් නෙවේ.

 මා පුංචි කාලේ ඉඳලම දැක්කෙ මගේ පියා මහජනතාව සමඟ උරෙන් උර ගැටී කරන සේවයයි. මම එතුමාගේ දියණියම පමණක් නෙවේ. මේ රටේ සියලුම මවුපියවරුන්ගේ දියණියක්. යහපත් මානසිකත්වයෙන් යුතු ආර්ථිකයෙන් සවිමත් සෞඛ්‍යසම්පන්න තරුණ පරපුරක් අපේ රටට අවශ්‍ය කාලය මේකයි. මට ප්‍රතිපත්තිගරුක දේශපාලන ඉදිරි ගමනක් තියෙනවා.

දැයේ මල් කැකුළු වන් දූ දරුවන් වෙනුවෙන් මේ රජය මේ වන විටත් සුවිශේෂී වැඩ කොටසක් කරනවා. එම වැඩපිළිවෙළ ඉතා ක්‍රියාශීලීව ඉදිරියට ගෙන යෑම මගේ අරමුණයි. ඒ වගේම ස්ත්‍රීත්වය, එය පාගා තළා පෙළා දෙවැනි තැනට වැටෙන්නට නොදී සෑම අතින්ම එය ගෙඩනැඟීමට අභීතව මුහුණ දෙනවා.

අද මගේ මේ ගමනේ ආරම්භය පිළිබඳ යමක් කිවයුතුයි. මගේ පියාගේ ඝාතනයට සාධාරණයක් ඉෂ්ට වීමට තව බොහෝ කාලයක් යාවි. මගේ පියා අද ජීවතුන් අතර හිටියා නම් මාව මේ වගේ දේශපාලන වේදිකාවට පිවිසෙන්න තියා මට තරවටු කරලා ගෙදර එළවනවා. ඒත් දැන් මම මගෙන් ඉටුවිය යුතු යුතුකම ඉටුකරන්න ඕනෑ. මගේ පියා වෙනුවෙන් එතුමා නතර කළ තැන පටන් ඉදිරියට කටයුතු මම කරගෙන යනවා. ඒත් අද මම ඔබලා ඉදිරියේ සහතික වෙනවා.

මම කාටවත් බය කෙනෙක් නෙවේ. මම කිසි දේකදි සැලෙන හදවතක් ඇති කෙනෙක් නෙවේ. මාව නතර කරන්ක කාටවත් බෑ. මගේ මේ ගමනට බොහෝ අයගේ ආශීර්වාදය තියෙනවා. අතිගරු ජනාධිපතිතුමා ප්‍රමුඛ පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්‍ෂ මහතාගෙන්ද ඒ සම්බන්ධ සියලුම ආණ්ඩුවේ ජේ‍යෂ්ඨ සියලුම දෙනාගේ පූර්ණ ආශීර්වාදය මට ලැබිලා තියෙනවා. මගේ මව ඇතුළු ප්‍රවීණ මාධ්‍යවේදී සීලරත්න සෙනරත් මහතා ඇතුළු මගේ පියාගේ වටා සිටි සියල්ලන්ම මට ශක්තියක්. මට මේ ගමන යෑම සඳහා වැඩිහිටි බොහෝ ජනතාවක් ගුරුහරුකම් දෙමින් අවශ්‍ය මාවත හෙළි පෙහෙළි කර දෙමින් සිටිනවා. එනිසා ඒක මට මගේ පියා ලබාදුන් මේ ජනතාවගේ සිත් තුළ නළියන ඒ සිහින මල්පල ගන්වා, මගේ අරමුණ කරා ළං වීමට මහඟු රුකුලක් වේවි. අපි මාර්තු 30 වැනි දින මෙයටත් වඩා සාර්ථක උත්සවයක් ගමු. එදාට මීටත් වඩා ජනතාවක් සිටියි. එදාට මම එන්නේ ජයග්‍රහණයත් දෝතින් අරගෙන බව කියනවා.

Gossip Lanka Hot News Previous News Archive