දේශපාලනයට සම්බන්ධ වෙනවා නම් ඡන්දේ ඉල්ලන්නේ උතුරු පළාතෙනුයි - K Sujeewa

මයික්‍රෆෝනය ඉදිරියේ සිට දෙමළ බසින් ගුවන්විදුලි හා රූපවාහිනී රසිකයන් ඇමතූ කේ. සුජීවා එළිමහන් ප්‍රසංග වේදිකාවට දැන් නැතිවම බැරි ගායිකාවක් වෙලා. නිවේදන ජීවිතයෙන් සමුගත් ඇය යළි මයික්‍රෆෝනය අතට ගන්නේ ගායිකාවක් හැටියටයි. කෙසේ වුවත් ඇයගේ හඬට සිංහල ජනතාව තුළ සුවිශාල පිළිගැනීමක් තියෙනවා.

මේ දිනවල ඇයව නිර්මාණ තුළින් දකින්න නොලැබුණත් ඇය පිළිබඳව රාවයක් පැතිරෙනවා. ඒ ඇගේ පවුල දෙකඩ වෙලා කියන රාවයයි. ඒ පිළිබඳවත් ඇගේ සංගීත ජීවිතය පිළිබඳවත් කතා කරන්න මෙවර රිවිසරසිට ඇයව සම්බන්ධ කරගත්තා. මේ ඒ ගැනයි.

සුජීවාගේ කටහඬ මේ දිනවල අහන්න ලැබෙන්නේ නැහැ. ප්‍රසංග වේදිකාවෙන් ප්‍රතික්ෂේප වෙලාද ඉන්නේ?
රූපවාහිනී හා පුවත්පත් මාධ්‍යයෙන් මාව දකින්න ලැබෙන්නේ නැති නිසා මම නිහඬවෙලා කියලා හිතනවා ඇති. ඒත් මම නිහඬ නැහැ. හැම සති අන්තයකම රට වටේ තියෙන සංගීත ප්‍රසංගවල මම ගී ගයනවා. ඒ නිසා හරිම කාර්ය බහුලයි. ඒ වගේම මගේ හඬ මගේ රටාව අදටත් හෙටටත් ප්‍රසංග වේදිකාවෙන් ප්‍රතික්ෂේප වෙන්නේ නැහැ. ඕනෑ තරම් ආරාධනා ලැබෙනවා.


අලුත් ගීත ක්ෂේත්‍රයට එකතු කරන්න බලා‍පොරොත්තුවක් නැද්ද?
අලුත් ගීත දෙකක් නිර්මාණය කළා. ඒ ගීත දෙකටම රූප රචනා නිර්මාණය කළා. ‘වුණු තරම්’ කියන ගීතය පද රචනය කළේ සංජීව කියලා මල්ලි කෙනෙක්. එයගේ ගීත මීට කලින් ප්‍රචාරය වෙලා නැහැ. අනෙක් ගීතය ආරාධනා. එය ලිව්වේ සම්පත් ප්‍රනාන්දු. මේ ගීත දෙකම රීමික්ස් ගීත. ගීත දෙකෙන් එකක් මාර්තු මාසේ පළමු දින ඉඳලා රූපවාහිනී මාධ්‍ය තුළින් එළිදක්වන්න බලා‍පොරොත්තු වෙනවා.

සුජීවා ප්‍රසංග වේදිකාව ඉලක්ක කරගෙනම ගීත නිර්මාණය කරන්නේ ඔබට වෙන ආරක ගීත ගායනා කරන්න හැකියාවක් නැති නිසා කිව්වොත්?
කේ. සුජීවා කියන නමට අනන්‍ය වූ හඬක් තියෙනවා. ඒ රටාවෙන් වෙනස් වුණු ගීත මම ගායනා කරන්නේ නැහැ. මට වෙනස් වෙන්න වුවමනාවක් නැහැ. මම මීට කලින් ගැයුවේ 6*8 ආරයේ ගීත. දැන් ෆෝ ෆෝ ආරයේ ගීත වේදිකාවට උචිත විදිහට නිර්මාණය කරලා ගායනා කරනවා. මම හිතනවා මගේ ප්‍රේ්‍රක්ෂකයින් මගෙන් බලා‍පොරොත්තු වෙන්නෙත් නිකම්ම වේදිකාවේ හිටගෙන සිංදු කියන ගායිකාවකගේ පසුබිම ‍නෙවෙයි. වේදිකාව මත ප්‍රාසාංගිකව ගීත ගායනා කරන චරිතයයි. මම ඒ දේ කරනවා. එහෙම කළා කියලා මට වෙන ෙශෙලියක ගීත ගායනා කරන්න බැහැ කියලා කාටවත් හිතන්නවත් කියන්නවත් බැහැ. මම ගායිකාවක් ඒ නිසා මට ඕන විදිහට සිංදු කියන්න පුළුවන්. කලා ක්ෂේත්‍රයේ අයට මේ දිනවල දේශපාලනයට හොඳ ඉල්ලුමක් තියෙනවා.

පළාත් සභාවට තරග කරන්න සුජීවාට ඇරයුම් ලැබුණේ නැද්ද?
ආරාධනා ලැබුණාද නැද්ද කියලා මම කියන්න කැමති නැහැ. ඒත් දේශපාලනයට සම්බන්ධ වෙන්න නම් තවම හිතලා නැහැ. කොහොමත් මේ යන රටාව එක්ක මම නම් කොළඹින් ඡන්දෙට ඉදිරිපත් වෙන්නේ නැහැ. කවදාහරි දවසක දේශපාලනයට සම්බන්ධ වෙනවා නම් මම ඡන්දේ ඉල්ලන්නේ උතුරු පළාතෙනුයි. මම කැමැති උතුරේ ජනතාව වෙනුවෙන් සේවය කරන්නයි. ඒත් තවම ඒ ගැන හිතලා නැහැ.

සුජීවා ගැන කාලයෙන් කාලයට කට කතා පැතිරෙනවා. ඔබේ පුංචි පවුල දෙකඩ වෙලා කියලා දැන් රාවයක් පැතිරෙනවා ඇත්තද?
කට කතා ඕන තරම් පැතිරෙන්න පුළුවන්. දන්න හඳුනන මිනිස්සු ගැන මිසක් නොදන්න මිනිස්සු ගැන කටකතා පැතිරෙන්නේ නැහැනේ. අපි ඕවට සැලෙන්නේ නැහැ.

පසුගිය කාලයේම ප්‍රසිද්ධ වේදිකාවට සම්බන්ධ නොවුණේ ව්‍යාපාර කටයුතුවලදී වුණ වංචාගත සිදුවීමක් නිසා කියනවා. දැන් ඒ ප්‍රශ්නය විසඳිලාද?
විසඳාගන්න මට ප්‍රශ්නයක් වුණේ නැහැ. මම වංචාවක් කළා නම් ඒ අයට නීතියෙන් පියවර ගන්න තිබුණා. මේ රට හරිම පුංචියි. ලංකාවේ ඉන්න ජනතාවගෙන් සියයට පනහක් විතර මාව දන්නවා. පාරේ ගියත් කේ. සුජීවා කියලා කතා කරන මිනිස්සුන්ගෙන් මම හැංගිලා ජීවත් වෙන්නේ කොහොමද? මගේ රූපලාවණ්‍යාගාරයෙන් යම් කිසි කෙනෙකුට අසාධාරණයක් වංචාවක් වුණා නම් මාව ‍පොලිසියෙන් අත්අඩංගුවට ගන්නවා. එහෙම නැතිනම් මගේ රූපලාවණ්‍යාගාරය සීල් කරන්න පුළුවන්. එහෙම නැති නම් නඩු දාන්න පුළුවන්. ඔය කියන විදිහට මට මේ කිසිම දෙයක් වුණේ නැහැ. ඒ නිසා ප්‍රේක්ෂකයින්ට භාරයි මම නිවැරදිද වැරදිද කියලා තීරණය කරන්න. මට හැංගෙන්න වුවමනාවක් තිබුණෙත් නැහැ. මම හැංගිලා හිටියෙත් නැහැ. ඉස්සර වගේම මම ප්‍රසංග වේදිකාවේ සිංදු කිව්වා මිසක.

ජනප්‍රිය හුඟදෙනෙක් රූපලාවණ්‍යාගාර පවත්වාගෙන යනවා. සුජීවා රූපලාවණ්‍යාගාරයක් පවත්වාගෙන යන්නෙත් ඒ රැල්ලටද.
මට මනෝ විද්‍යාව පිළිබඳව උපාධියක් තියෙනවා. සංගීතය පිළිබඳව ඩිප්ලෝමාවක් තියෙනවා. ඒ වගේම නර්තනය ගැනත් ඉගෙන ගත්තා. ඒත් ඒ දේවල් මම ඉගෙන ගත්තට තනියම කරන්න ඕන දේවල්. ඒ වුණාට මම රූපලාවණ්‍යය පිළිබඳව හැදැරුවේ තවත් පිරිසකට උගන්වලා ඒ අයගේ මාර්ගයෙන් වැඩක් ගන්න පුළුවන් නිසයි. ඒ විෂයෙන් විතරයි ඒ දේ කරන්න පුළුවන්. ඒ නිසා මම ඒ දේ කරනවා. ඒක විලාසිතාවක් කියලා කියන්න බැහැ.

ඔබ දියණියක් ඉන්න මවක්. ඇය දැන් ලොකුයි. ඔබේ කාර්යබහුල ජීවන රටාවත් එක්ක ඇයගේ වැඩවලට මුල්තැන දෙන්න ඔබට වෙලාවක් තියෙනවද?
මගේ දුව රෝස් මෙලඩි දිව්‍යාංජලී. වයස අවුරුදු හතයි. ජාත්‍යන්තර පාසලක ඉගෙන ගන්නවා. කොයිතරම් කාර්යබහුල වුණත් අම්මා කෙනෙකුගෙන් දරුවකුට ලැබෙන්න ඕන ආදරය ආරක්ෂාව වගේම මගේ අතින් විය යුතු යුතුකම් මම කරනවා. ඒ වගේම ගෙදර උයන්නෙත් මමමයි. කවුරු ගෙදර හිටියත් දුවට අදටත් කෑම කවන්නේ මමමයි. එයාගේ හැම වැඩක්ම මම හොයලා බලලා කරනවා. රෑ නිදිමරාගෙන සංගීත වැඩ කළත් දරුවා වෙනුවෙන් කාලය කැප කරන්න මම වෙලාව හොයා ගන්නවා.

හර්ෂණී වීරරත්න

Gossip Lanka Hot News Previous News Archive