ටීචර්වත් යට කරගෙන කඩේ වහලෙත් කඩාගෙන ලොරිය නතර වුණා
කබගමුව මංසන්ධියේදී පෙරේදා (22) ලොරියට යටවීම නිසා පාසලක් හා ගමක් හඬවමින් හපුවිට පල්‍ලේගම පදිංචි 52 හැවිරිදි එස්. කල්‍යාණවතී නමැති නර්තන ආචාර්යවරිය ජීවිතයෙන් සමුගෙන ඇත.
පිරිමි දරුවන් දෙදෙනකුගේ මවක වන ඇය තුම්මුදුන කනිෂ්ඨ විදයාලයේ නර්තන ගුරුවරිය වශයෙන් කටයුතු කළාය. කාගේත් සිත් දිනා සිටි සැමවිටම සිනාමුසු මුහුණින් කටයුතු කරන ඇය කිලෝමීටර් 10ක පමණ දුර සිට මෙම පාසලට ආවේද සතුටු සිතිනි.
මෙයට පෙර නිවස ආසන්නයේ තිබූ කෙසෙල්වත්ත විද්‍යාලයේ සේවය කළ ඇය තුම්මුදුන කනිෂ්ඨ විදුහලේ සේවයට පැමිණියේ ඉන් අනතුරුවය. 2011 වර්ෂයේ මැයි මාසයේ සිට එම පාසලේ සේවය කළ ඈ නැවත ළඟ පාසලකට ඒමට උත්සාහ නොදැරුවේද එම සේවා ස්ථානය ඇගේ සිතේ කාවැදී තිබූ හෙයිනි.
කල්‍යාණවතී මහත්මියගේ සැමියාද ගුරුවරයෙකි. ඔහු තනන්ගමුව විද්‍යාලයේ සේවය කරන අතර වැඩිමහල් පුතු උසස් පෙළ හදාරා කොළඹ රැකියාවක් කරයි. බාල පුතු මෙවර ගණිත අංශයෙන් උසස් පෙළ හැදෑරීමට සූදානම් වෙයි. ‘අපේ පුතාලට හොඳට උගන්වන්න ඕන’ ඒ ඇයගේ එකම පැතුම විය.
උදෑසන පාසලට යද්දී දෙදෙනාම ගියේ බුලත්කොහුපිටිය මාර්ගයේය.
‘මහත්තයා බයිසිකලේ යන්න. මම බස්එකේ යන්නම්. අපි දෙන්නටම කරදරයක් වුණොත් කවුරුත් නෑනේ. ඒ නිසා මම බස්එකේ යන්නම්’ විටකදී ඇය එසේ කීවාය. නිරතුරුව දරුවන් ගැන සිතූ ඇය පුතුන් දෙදෙනාට දුක් සුසුම් පමණක් ඉතිරි කරමින් ඔවුන්ගෙන් සමුගෙන ගියාය.
‘අනේ ඔය ටීචර් හරි හොඳයි. පුතාලා දෙන්නත් හරිම අහිංසකයි.’ ගම්මුන් කීවේ එසේය.
උදෑසන 6.00ට පෙර නිවසින් පිටවන ඈ මොරොන්තොට දක්වා ගොස් නැවත බුලත්කොහුපිටිය බසයක නැගී කබගමුව හන්දියෙන් බැස ඉතිරි මීටර් හයසීය පාසල් දරුවන් හා ගුරුවරුන් සමග පා ගමනින් යයි.
‘ගෙදරට බඩු ටිකක් ගන්නත් ඕනෙ. අද හවසවත් ඇවිත් ඔක්කොම බඩු ටික අපි අරගෙන යං මහත්තයා. මගට ඇවිත් ඉන්න’ ඇය එසේ කීවේ එදින දහවල් වරුවේය.
ලොකු පුතුද සෑම දිනකම දහවල් මවට දුරකථන ඇමැතුමක් දෙන්නේ ඔහු කොළඹ සිටින හෙයිනි.
‘මම නිවාඩුවට ගෙදර ඇවිත් හිටියේ. අද හවස මම කොළඹ යන්න ලෑස්තිවෙලා හිටියේ. අම්මට හැමදාම මම දවල් කෝල් එකක් ගන්නවා. අද දවල් කතා කළත් එයා කතා කළේ නැහැ’ පුතුන් දෙදෙනාගේ ඇස්වලින් කඳුළු කඩා හැලෙයි.
කල්‍යාණවතී ගුරුතුමිය පාසල ඇරී සවස 1.40ට පමණ දරුවන් හා ගුරුවරුන් සමග පා ගමනින් කබගමුව හන්දියට ආවේ සුපුරුදු පරිදි නිවසට යෑමටයි. සිව් මං හන්දියේ වෙළෙඳසල ඉදිරිපිට බසයක් එනතුරු සෑම දිනකම සිටින ඈ එදින තමාට අවාසනාවන්ත ඉරණමකට මුහුණදීමට සිදුවේ යැයි සිහිනෙකින්වත් නොසිතන්නට ඇත.
සිදුවීම සියැසින් දුටු තුන්මුදුන විද්‍යාලයේ ආචාර්ය බි.ආර්. ජයවතී මිය
‘1.35ට විතර අපි පාසලින් ආවා. අපි පාර ළඟට ආවේ ටීචර්ස්ලා තුන් හතරදෙනෙක් එකටයි. කල්‍යාණවතී ටීචරුත් අපිත් එක්ක ආවා. කඩේ ගාව තමයි හිටියේ. මම හිටියේ මිදුලට බහින තැන. එතකොට එකයි පනහට විතර ඇති. ලොරියක් පිටිපස්සට ගන්නවා දැක්කා. එකපාරටම වේගයෙන් ලොරිය පිටුපසට එද්දී හිතාගන්නවත් බැරිවුණා. මම ලොරිය ළඟට එද්දී ලොරියට අතත් තිබ්බා. මම එකපාරටම වැටුණා. එතකොට අනිත් පැත්තට හැරිලා නැගිටිද්දීම ලොරියේ රෝදේ මං ළඟ තිබුණේ. මාත් වැටුණේ ලොරියේම හැප්පිලයි. ලොරිය එද්දී මම අයින් වෙන්න හැදුවත් එකපාරම බැරිවුණා. ටීචර්ට දුවන්න තැනක් තිබුණේ නෑ. මම ටීචර් යටවෙනවා දැක්කේ නෑ. තව පොඩ්ඩෙන් මාවත් යටවෙනවා’ ඇය මරණ පරීක්ෂණයේදී සාක්ෂි දුන්නාය.
වයි.ඒ. චාලට් අබේතුංග මිය (40)
‘මම දුවගේ පොතක් හදන්න හෙට්ටිමුල්ලට යන්න ආවේ. එද්දී ටීචර් අපේ දුව එක්ක කතා කර කර කඩේ ගාවට ආවා. ඒ කඩේ ඉස්සරහා ඉඳලා වේගයෙන් ලොරියක් පස්සට ආවා. අපි දෙන්නා ලොරිය එන පැත්තෙන් අයින් වුණා. ලොරිය එතැන කඩවලත් හැප්පිලයි නතර වුණේ. පස්සේ බලද්දී ටීචර් යටවෙලා. පසුව එයාව ත්‍රීවීල් එකක තබගමුව රෝහලට අරන් ගියා. දකුණු කකුල හා ඔළුව අහුවෙලා තියෙනවා කියලා දැකපු අය කිව්වා. ගෙනියද්දී ටීචර් නැතිවෙලා කියලා පස්සේ අපට ආරංචි වුණා.’
නිකවැරටිය ප්‍රදේශයේ ලොරි රථයක් මෙසේ හාල් ගෙනැවිත් ඇති අතර එය පසුපසට ගැනීමට අපහසු නිසා එම ස්ථානයේ පදිංචි අයකු ලොරිය පසුපසට රැගෙන ඇත. මෙසේ ලොරිය පිටුපසට ගැනීමේදී මෙම ගුරුතුමිය දිවීමට සැරසෙද්දී සාරි පොට පැටලී වැටී ලොරියට හසුවී ඇතැයි වාර්තා වේ.
දරු දැරියන් රැසකට අධ්‍යාපනය ලබාදෙමින් පාසල් තරග රැසකින් ජයග්‍රහණ කරා ගෙනයන්නට උත්සාහ දැරූ ඇයට අනපේක්ෂිත සිද්ධියක් හේතුවෙන් ජීවිතයෙන් සමුගන්නට සිදුවී ඇත. සිදුවීම සම්බන්ධව බුලත්කොහුපිටිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
ඡායා සහ සටහන – අමිල බණ්ඩාර-බුලත්කොහුපිටිය