ජීවිතයේ මුල්වරට ඡන්දය ප‍්‍රකාශ කරද්දී ඒ ඡන්දය තමන්ටම දෙන්නට වරම් ලැබූ අය මේ රටේ තවත් ඉන්නවාදැයි කීම සැකසහිතය. ඡන්දය තමන්ටම දීමටත් වඩා, පාසල් සුදු ගවුමෙන් ප්රාදේශීය සභාවට යන මන්ත‍්‍රීවරියක් ඉන්නා බව කීම අරුම පුදුම පුවතකි. මේ ප‍්‍රවෘත්තිය අපට අහන්නට ලැබෙන්නේ නාත්තණ්ඩිය ප‍්‍රාදේශීය සභාවෙනි. මන්ත‍්‍රීවරියක හැටියට සෙනසුරාදා දිවුරුම්දීමෙන් ඉක්බිති ඇය ලංකාවේ ළාබාලතම ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීනිය හැටියට ඉතිහාසගත වනු ඇත.
නාත්තණ්ඩිය ප‍්‍රාදේශීය සභාවට එක්සත් ජාතික පක්ෂ ලයිස්තුවෙන් තේරීපත්වූ මේ දහනව හැවිරිදි අලූත් මන්ත‍්‍රීවරිය චන්දි ප‍්‍රභා තෙන්නකෝන් ය.
”මම ඉපදුනේ 1999 අවුරුද්දේ. ඒ කියන්නේ මට වයස අවුරුදු දහනවයයි. දැනට නාත්තණ්ඩිය ධම්මිස්සර ජාතික පාසලේ උසස්පෙළ හදාරනවා. මේ අගෝස්තු මාසේ මම ජීව විද්‍යා විෂය ධාරාවෙන් උසස්පෙළ විභාගයට පළමුවර පෙනී ඉන්නවා. මේ තරම් අඩු වයසකින් මහජන නියෝජිතවරියක් වෙන්න ලැබුණු එක ගැන මට තියෙන්නෙ ලොකුම සතුටක්.” පුංචි මන්ත‍්‍රීතුමිය හාපුරා කතාව ඇරඹුවේ එලෙසය. දේශපාලනය ගැන ඇය මේ වයසේදී මේ තරම් උනන්දු ඇයි දැයි දැනගන්නට අපට වුවමනා විය.
”මම දේශපාලන පවුලක හැදීවැඩුණේ. මගේ තාත්තා පාලිත තෙන්නකෝන් මේ පළාතේ කවුරුත් මගේ තාත්තව අඳුනනවා. තාත්තා මුල් වතාවට පළාත් පාලන මැතිවරණයට තරග කරලා තියෙන්නෙ 1991 අවුරුද්දේදී.ඒ කියන්නේ මම ඉපදෙන්නත් ගොඩක් කාලෙකට කලින්. එදා ඉඳන් දිගටම තාත්තා පක්ෂයට වැඩ ගොඩාක් කළ කෙනෙක්. තාත්තා රැුකියාව කළේ නාවල විවෘත විශ්ව විද්‍යාලයේ දත්ත සැකසුම් ශිල්පියෙක් හැටියටයි. ඔහු දැන් විශ‍්‍රාමිකයි. මගේ අම්මා මාරවිල ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයේ ගුරුවරියක් හැටියට වැඩ කරනවා.”
දිනුම පැරදුම කොහොම වෙතත් මැතිවරණයකට ඉදිරිපත්වීම සැලකිය යුතු අභියෝගයකි. ඒ අභියෝගය තමන්ට පැවරුණු හැටි ඇය අපට විස්තර කළේ මෙසේය.
”දැනට අවුරුදු හතක් තිස්සේ මගේ තාත්තා කුඩාවැව කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ සංවිධායකවරයා හැටියට වැඩ කරනවා. කුඩාවැව ගමට එක්සත් ජාතික පක්ෂයෙන් තරග කරන්න කාන්තා නියෝජනයක අඩුවක් පැවතුණා. ඉතින් තාත්තාගේ උපදෙස් මත මගේ නම යෝජනා කෙරුණා. අපේ ප‍්‍රදේශය නියෝජනය කරමින් පාර්ලිමේන්තු වරම් ලැබූ අශෝක ප‍්‍රියන්ත මන්ත‍්‍රීතුමාගේ ආශීර්වාදය මතයි මට මේ ගමන යන්න ඉඩහසර ලැබුණේ.”
”ඡුන්දයට තරග කරන්න කියලා ආරාධනාව ලැබුණම මට අකමැත්තක් ඇති වුණේ නැහැ. හැබැයි පාඩම්වලට වැඩ පාඩු වේවිද කියලා පොඩි බයක් නම් දැනුණා. හැබැයි මුලදිම මම හිතාගත්තා මොනම හේතුවක් නිසාවත් පාඩම් පාඩු කර ගන්නෙ නෑ කියලා. කොටින්ම මම ඡුන්දෙ දවසෙ උදේ තිබුණු උපකාරක පන්තියටත් සහභාගි වුණා..”
තමන් වෙනුවෙන් අනික් අය ඡුන්දපොළට යද්දී ඇය උපකාරක පන්තියට ගියේ ජනවරමට වඩා ඉගෙනුමට මුල් තැන දුන් හෙයිනි.
”කොහොමත් මට පාසලේ ගුරුවරු කිව්වේ ඡුන්ද ප‍්‍රතිඵලයට වඩා විභාග ප‍්‍රතිඵලය වැදගත් කියලයි. මගේ වුවමනාව තියෙන්නෙත් අධ්‍යාපනයට බාධාවක් නොවෙන්න දේශපාලනය කරන්නයි. ඒ නිසාම මම මැතිවරණ ප‍්‍රචාරණ මෙහෙයුම සිද්ධ කළ දවස්වලත් හැමදාම ඉස්කෝලෙත් ගියා. මගේ තාත්තා සහ මේ පැත්තේ එක්සත් ජාතික පක්ෂ ක‍්‍රියාකාරීන් මාව දිනවන්න මැතිවරණ ව්‍යාපාරය කරගෙන ගියා.”
”එක්සත් ජාතික පක්ෂයෙන් චන්දි ප‍්‍රභා තෙන්නකෝන් දිනවමු කියලා දැන්වීම් අත්පත‍්‍රිකා අපි බෙදාහැරියා. අපේ ගෙදර පැවැත්වුණු රැුස්වීමෙදි මම හොඳ කතාවකුත් කළා. ඒවාට හොඳ ප‍්‍රතිචාර ලැබුණා.”
අවසානයේ මට මුළු ඡුන්ද ගණන 398ක් ලැබුණා. ජයග‍්‍රහණය කරන්න ඒ ඡුන්ද ගාන මදි වුණා. ඒත් මට කනගාටුවක් නැහැ. මට ලයිස්තුවෙන් ප‍්‍රාදේශීය සභාවට යන්න වරම ලැබුණා. මම මේ ලැබුණු වරමින් ජනතාවට උපරිම මෙහෙවරක් කරනවා.”
ළාබාල පාසල් සිසුවියක ලෙස මැතිවරණ පොරපිටියේ තරග කරද්දී තිබුණු ලොකුම අභියෝගය කුමක්දැයි අපි ඇයගෙන් විමසීමු.
”ලොකුම අභියෝගය වුණේ ඉතින් පොහොට්ටුවේ අපේක්ෂකයා තමයි. හැබැයි කිසිම විදියක ප‍්‍රචණ්ඩකාරී සිදුවීමක් සිද්ධ වුණේ නෑ. දේශපාලන මතවාද දෙකක් වුණත් එයා අපේ ගමේ අපේ හිතවතෙක්. ඒ නිසා මැතිවරණය කෙරුණේ හරිම සාමකාමීවයි”
අත්දැකීමෙන් සහ වයසින් ළාබාල වුණත් ඇය දැන් මහජන නියෝජිතවරියකි. ප‍්‍රදේශයේ ජනතාවගේ ගැටලූ ගැන මගහැර යා නොහැකි වගකීම් සමුදායක් ඇය ඉදිරිපිට එකතු වී තිබේ. ඒ වෙනුවෙන් ඇගේ ඇති සැලසුම් මොනවාදැයි අපෙන් පැනයකි.
”අපේ ගමේ ගොඩක් ලෑලි ගෙවල් තියෙනවා. ඒ මිනිස්සු ගොඩක් දුක් විඳිනව මට පේනවා. සමහර පැතිවලට වතුර නෑ. ඒ වගේම අනවසර ඉදිකිරීම් ගොඩක් තියෙනවා. ඒ මිනිස්සුන්ටත් සාධාරණ පිළියමක් යොදලා දෙන්න ඕන. මේ වගේ කළ යුතු වැඩ ගොඩක් මගෙ ඉදිරිපිට තියෙනවා.” ඇය පවසයි.
”ජනතාවට සේවය සපයන අතරේම මම මගේ අධ්‍යාපනය ගැනත් හිතන්න ඕන. මොකද රටට ඕනෑ කරන්නේ උගත් දේශපාලකයන්.. මට සාමාන්‍ය පෙළ විභාගයෙන් හොඳ ප‍්‍රතිඵලයක් තිබුණා. තව මාස තුනකින් ලියන උසස්පෙළ විභාගයේදිත් ඒ වගේ විශිෂ්ට ප‍්‍රතිඵලයක් අරගෙන වෛද්‍ය විද්‍යාලයට තේරෙන්නයි මම කැමති..” පුංචි මන්ත‍්‍රීවරිය කියන්නීය. ප‍්‍රාදේශීය සභාවේ ක‍්‍රියාකාරි හොඳම මන්ත‍්‍රීනිය වෙන්නටත්, දුක්විඳින මිනිසුන්ට සුබසෙත සලසන්නත් අවැසි ශක්තිය අපි ඇයට සුබ පතමු.
සාවිත‍්‍රි විතානගේ