"නිරුවතින් දින 21 ක් නොමැරී ජීවත්වීමේ අත්දැකීම"
ලොව බොහෝ රටවල් මේ වන විට ටෙලිවිෂන් මාධ්‍ය තුළ විවිධ රියැලිටි වැඩසටහන් අත්හදා බලමින් සිටියි. එහිදී සංස්කෘතික හර පද්ධතීන් මෙන්ම අතුරු ප්‍රතිවිපාක නොතකා ලාභ අපේක්ෂාව පෙරමුණ ගෙන ඇති බව අමුතුවෙන් කිව යුතු නොවේ. තමාව ද ඇතුළුව සියල්ල විකුණන හා මිලදී ගන්නා පශ්චාත් නූතන අවධියක රියැලිටි වැඩසටන්වල ආකෘතිය පවා එහි සම්භාව්‍ය “ වැඩසටහන්මය” ගුණය බිංදුවට දමා තිබේ. රියැලිටි ලෝකයම උඩුයටිකුරු කිරීමේත්, එහි අවසානය නුදුරු කාලය තුළම සිදුවීමේත් පෙරනිමිති මේවන විට පහළවෙමින් ඇත.
ඩිස්කවරි නාළිකාව මගින් හඳුන්වා දීමට නියමිත “නිරුවත සහ බිය” නමැති රියැලිටි වැඩසටහන කෙරෙහි ලෝකයේම අවධානය යොමුව ඇත්තේ මෙවැනි පසුබිමකය. මේ නවතම වැඩසටහන තුළින් රියැලිටි වැඩසටහන්වල සීමාව කොතැනද යන්න සනිටුහන් කරනු ඇති බවටත්, එය තවදුරටත් ප්‍රේක්ෂක ප්‍රතිචාරවල අන්තය කරා රැගෙන යනු ඇති බවටත් අනාවැකි පලකෙරෙමින් ඇත.
“නිරුවත සහ බිය” රියැලිටි වැඩසටහන සඳහා එකිනෙකා නොහඳුනන ස්ති‍්‍රයක හා පිරිමියකු යුගළ තරගකරුවන් ලෙස තෝරාගනු ලබයි. මොවුන් දෙදෙනා නොමැරී දින 21 කාලයක් පුරා සැතපුම් 10 ක දුරක්, සිදුවිය හැකි සියලුම කටුක අත්දැකීම් වලට නොබියව මුහුණදෙමින් එක් පූර්ව නිශ්චිත ස්ථානයකදී ස්වකීය ගමනාන්තය සටහන් කරමින් තරගය නිමා කළ යුතුය. මොවුන් තරගයට ඇතුළුවිය යුත්තේ මුළුමනින්ම නිරුවතිනි. සෑම වැඩසටහන් අංගයකදීම එකිනෙකාට වෙනස් යුගළ බැගින් එකිනෙකට වෙනස් ස්ථානවල පවත්වනු ලැබේ. වැඩසටහනේ මංගල දර්ශනය එළැඹෙන ජූනි මස 23 වැනි දින ආරම්භ කිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය උපුටා දක්වයි.