මෙහෙම ගියොත් අපේ කර්මාන්තය ඉවරයි - ශ්‍රී ලංකා මෝටර් රථ වෙළෙඳුන්ගේ සංගමය
වාහන ආනයනය කිරීමට පනවා තිබෙන බදු හමුවේ අළුත්ම වාහන ආනයනය විශාල ලෙස අඩුවී තිබෙන බවත් අසාධාරණ ලෙස රේගුවට වටිනාකම අඩුවෙන් පෙන්වා ආනයනය කරන පාවිච්චි කළ වාහන කොටුකර ගැනීමේ වැඩසටහනක් දියත් කිරීමට බළධාරීන් සමග කටයුතු කරන බවත් ශ්‍රී ලංකා මෝටර් රථ වෙළෙඳුන්ගේ සංගමයේ සභාපතිවරයා කියයි.
ශ්‍රී ලංකා මෝටර් රථ වෙළෙඳුන්ගේ සංගමයේ සභාපති තිලක් ගුණසේකර “විමසුම“ ට පැවසුවේ වටිනාකම අඩුවෙන් පෙන්වා මෙරටට ආනයනය කරන පාවිච්චි කළ වාහන ප්‍රමාණය මේ වනවිට වැඩි වෙමින් තිබෙන බවයි.
“මේ නිසා, නිසි බදු ගෙවමින් අපි සිදුකරන කර්මාන්තය කරගෙන යාමට බැරි තත්ත්වයකට පත්ව තිබෙනවා. අනිත් අතට මේ නිසා රජයට විශාල බදු ප්‍රමාණයක් අහිමි වෙනවා. අපි රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා සමග සාකච්ඡා කළා වටිනාකම අඩුවෙන් පෙන්වා මෙරටට ආනයනය කරන පාවිච්චි කළ වාහන වලින් නියම බදු ප්‍රමාණය අයකර ගැනීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන්න කියල. ඔහු ඒ සඳහා අපි සමග සාකච්ඡා කිරීමට එකඟ වුණා.“