ප්‍රයිවෙට්‌ බස්‌ මාරයාට බිලි වූ සිඟිති දරු දෙදෙනා අවසන් ගමන් යති

බස්‌ එක ඇඟට එනවා දැකලා දරු දෙන්නා එක්‌ක කාණුවට බැස්‌සා මට මතක එච්චරයි - අළුගොල්ලේ අනතුරට මුහුණ දුන් මව කියයි

පුතා ශ්‍රී සිද්ධාර්ථ ගෞතම චිත්‍රපටය බලන්න ආසාවෙන් හිටියේ. හැමදාම කියනවා බලන්න යමුකෝ කියලා. ඒ නිසා මම කීවා ඉරිදා යමු කියලා. එදා පෝය කියලවත් මට මතකයක්‌ තිබුණේ නෑ. මම චූටි දුවත් ලෑස්‌ති කරගෙන ලොකු පුතාත් එක්‌ක රඹුක්‌කන චිත්‍රපටය පෙන්වන හෝල් එකට ගියා. එතැන හිටිය කෙනෙක්‌ කීවා අද පෝය නිසා හෙට එන්න කියලා. ඒ නිසා මම පුතාට කීවා අපි දළුග්ගලේ පන්සලටත් ගිහිල්ලා බතඹුරේ මහ ගෙදර යමු කියලා. එහෙම යනකොට කෑගල්ල පැත්තේ ඉඳලා අපේ ඇඟටම බස්‌ එකක්‌ එනවා මම දැක්‌කා. මම දරු දෙන්නා එක්‌ක කාණුවට බැස්‌සා. මට මතක එච්චරයි. සිහිය එනකොට මම හිටියේ රඹුක්‌කන රෝහලේ යෑයි ඉකුත් පොසොන් පොහොය දින රඹුක්‌කන දළුග්ගලදී දරු දෙදෙනකු මරුමුවට පත් කරමින් සිදු වු මාරක අනතුරට මුහුණදුන් එම දරුවන්ගේ මව වන ඩබ්ලිව්. සිරිමා ස්‌වර්ණලතා (38) මහත්මිය පැවසුවාය.

මෙම අනතුරින් මරණයට පත්වූයේ රඹුක්‌කන හේවාදිවෙල අළුගොල්ලේ පදිංචිව සිටි ඒ. සසංක මිහිරංග (අවු( 11) සහ ඒ. මල්ෂා නෙතුමිණි (අවු( 2) යන දරු දෙදෙනාය.මෙම අනතුරට මුහුණ දුන් ස්‌වර්ණලතා මහත්මිය හේවාදිවෙල අළුගොල්ල සමුපකාර ප්‍රාදේශිකය භාරව සේවය කරමින් සිටි අතර ඇයගේ ස්‌වාමි පුරුෂයා වන ඒ. සුසන්ත කිත්සිරි යුධ හමුදා සේවයේ යෙදී සිට වෛද්‍ය හේතූන් මත සේවයෙන් ඉවත්ව සිටින අයෙකි.

ගුරුවරියක් ගඟට පැන නසී -Teacher jumps into river in Nawalapitiya

නාවලපිටිය අනුරුද්ධ කුමාර ජාතික පාසලේ ප්‍රාථමික අංශයේ ගුරුවරියක නාවලපිටිය බවුවාගම පාලමෙන් මහවැලි ගඟට පැන සිය දිවි හානි කරගෙන ඇත.මෙසේ මරණයට පත්ව ඇත්තේ නාවලපිටිය ඉඹුල්පිටිය ජනපදයේ පදිංචිව සිටි ඉෂාන්ති වෑවලගෙදර නමැති 45 හැවිරිදි දෙදරු මවකි.

නාවලපිටිය බවුවාගම පාලම උඩ තිබූ සෙරෙප්පු දෙකක්‌, කුඩයක්‌ හා අත්බෑගයක්‌ දැක ඇති ත්‍රිරෝද රථ රියෑදුරකු ඒ පිළිබඳව නාවලපිටිය පොලිසියට දැන්වීමෙන් පසු නාවලපිටිය පොලිසිය පරීක්‍ෂණ ආරම්භ කොට ඇත.එම පරීක්‍ෂණවලට අනුව ඇය මහවැලි ග‍ඟට පැන්න තැන සිට කිලෝමීටර් එකහමාරක්‌ පමණ දුරින් වූ දොරවාදෙණිය ප්‍රදේශයේ අකුලක රැඳී තිබී මෙම ගුරුවරියගේ සිරුර සොයාගෙන තිබිණි.

මෙම ගුරුවරිය ඊයේ (25 දා) උදැසන ඉඹුල්පිටිය මාර්ගය ඔස්‌සේ පැමිණෙන අයුරු දැක ඇති ලොරි රථ රියෑදුරකු ඒ බව නාවලපිටිය පොලිසියට දන්වා තිබිණි.ඇය සිය දිවි හානිකර ගැනීමට හේතුව ඊයේ සවස්‌ වනතුරුත් අනාවරණය වී නොතිබූ අතර ඒ පිළිබඳව පරීක්‍ෂණ පවත්වමින් තිබිණි.පරීක්‍ෂණ කටයුතු සඳහා ගොඩගත් සිරුර නාවලපිටිය රෝහල වෙත රැගෙන යැමට පියවර ගෙන තිබිණි.

සරත් ෆොන්සේකා සමග චන්ද්‍රිකා සන්ධාන ගතවේ

පැවැත්වීමට නියමිත වයඹ පළාත් සභා මැතිවරණයට තරඟ කිරීම සඳහා සරත් ෆොන්සේකා මහතාගේ නායකත්වයෙන් යුතු ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්‍ෂය සමඟ හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ සහාය ලබන ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ කණ්ඩායමක් එක්වීමට නියමිතව ඇතැයි වාර්තා වේ.

 මේ සඳහා වූ සාකච්චා වාර කිහිපයක්ම නිට්ටඹුව හොරගොල්ලේදී කුමාරතුංග මහත්මියගේ සහභාගීත්වයෙන් පැවැත්වී ඇති අතර ඒ සඳහා කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ චන්ද්‍රිකා හිතවාදී පැරණි ශ‍්‍රීලනිප සාමාජිකයන් රැසක්ද සහභාගී වී තිබේ.

 දිවයිනේ යුධ හමුදා සාමාජිකයන් විශාල පිරිසක් වෙසෙන්නේ කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ බැවින් ඔවුන්ගේ සහායෙන් මෙම මැතිවරණය ජයග‍්‍රහණය කිරීම මෙම කණ්ඩායමේ එක් අරමුණක් වී ඇත.කුරුණෑගල නගරයේ ඉපැරණි ශ‍්‍රීලනිප සාමාජිකයෙකු, ප‍්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු සහ සමාජ සේවකයෙකු වන සේන ඇඹලේගොඩ මහතාද මෙම කණ්ඩායමෙන් වයඹ පළාතට තරඟ වදින බව දැනගන්නට තිබේ.

ලක්‌ෂ දහයේ ලොතරැයි දිනුමට බිරිඳ හා සැමියාගේ කඹ අඳි !

දරුවගේ කේන්දරයට අනුව මැයි මස ඇදුනු රුපියල් දස ලක්‌ෂයක දිනුමක්‌ හිමිව ඇති ලොතරැයි පතකට බිරිඳ හා සැමියා දෙදෙනාම වෙන් වෙන්ව අයිතිවාසිකම් කීම නිසා ජාතික ලොතරැයිපත් මණ්‌ඩලය මගින් එම දිනුම ලබාදීම නවතා අයිතිය තහවුරු කරන ලෙස දැනුම් දීමෙන් පසු දෙදෙනාම ගම්පොළ පොලිසිය වෙත මේ සම්බන්ධව පැමිණිලි කොට තිබේ.

බිරිඳ පවසන්නේ තමාගේ පුතුගේ අකුරු කියවන නැකත හැඳීමේදී එම දරුවා ඉතා වාසනාවන්ත යෑයි පැවසීම නිසා ඔහුගේ නමට අනුව වයි අක්‌ෂරයේ ලොතරැයියක්‌ මිලදී ගත් බවයි.එදින රාත්‍රියේ රූපවාහිනිය මගින් දිනුම් අදින අවස්‌ථාවේ ගම්පොළ ප්‍රදේශයට රුපියල් දස ලක්‌ෂයක ත්‍යාගය හිමිව ඇති බවත් එහි තමා ගත් ටිකට්‌ පතේ සඳහන්ව තිබූ බවත් ඇය පවසයි.

එම ටිකට්‌ පත ස්‌වාමිපුරුෂයා සොරාගෙන දැන් එය ඔහුගේ බව පවසන බව පොලිසිය වෙත පැමිණිලි කරමින් සඳහන් කරන්නීය.සැමියා පවසන්නේ තමා ගත් ටිකට්‌ පත ඔහුට නින්ද ගිය පසු බිරිඳ සොරාගෙන එහි ඡායා පිටපත්ද රැගෙන ලොතරැයි මණ්‌ඩලයට යවා ඇති බවයි.මෙම ආරවුල ජාතික ලොතරැයි මණ්‌ඩලයට දැන්වීමෙන් පසු එම ත්‍යාග මුදල දීම නවතා දමා ඇත. පසුගිය මැයි මස 15 වන දින දිනුම් හිමිව ඇති මෙම ටිකට්‌ පත සඳහා අද වනතුරු දිනුම් ලබාදීම සිදුව නැත්තේ මෙම ආරවුල විසඳී නොමැති නිසා බව පරීක්‍ෂණ පවත්වන ගම්පොළ පොලිසිය සඳහන් කරයි.

වාස්ගේ බිරියට උසාවි එන්නැයි නොතීසි

අපට විරුද්ධව සාක්කි දෙන්න එපා වාස්ගේ බිරියගෙන් සැකකරුවකුගේ බිරියට දුරකථන ඇමතුම් 25ක්
වාස් ගුණවර්ධන ජූලි 9වැනිදා දක්වා තවදුරටත් රිමාන්ඩ්
බම්බලපිටිය කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් සියාම් නමැත්තාගේ ඝාතනයේ සැකකාර පොලිස් කොස්තාපල්වරයකුගේ බිරියට දුරකථනයෙන් තර්ජනය කළ හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතාගේ බිරියට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වමින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් එම්. සහබ්දීන් මහතා ඊයේ (25) නොතිසී නිකුත් කළේය.

කොස්තාපල් (51799) අතපත්තුගේ ගාමිණි සහන්චන්ද්‍ර නැමැත්තාගේ බිරියට දුරකථන ඇමතුම් 25කට අධික ප්‍රමාණයක් ගෙන වාස් ගුණවර්ධන මහතාගේ බිරිය මෙසේ තර්ජනය කොට ඇත. මේ සෑම ඇමතුමක්ම දුරකථන ඇමතුම් කාලය තත්පර සීයය ඉක්මවන බවට රහස් පොලිසිය වාර්තා මඟින් අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.

'ඔයාගේ මහත්තයා රජයේ සාක්කිකරුවෙකු වෙන්න හදනවා කියලා ආරංචියි, අපිට විරුද්ධව සාක්කි දෙන්න එපා' යැයි පවසමින් පවුලේ අයට දුරකථනයෙන් බලපෑම් කළ බවට රහස් පොලිසිය අධිකරණයට දැන්වීය.

බ්‍රිතාන්‍යයට ඇතුළුවීම සඳහා බැඳුම්කර අයකිරීමට විරෝධය

ශ්‍රී ලංකාව ඇතුළු තුන්වෙනි ලෝකයේ රටවල් ගණනාවක සිට බ්‍රිතාන්‍යයට ඇතුළු වීමට බලාපොරොත්තු වන සංචාරකයන්ගෙන් බැඳුම්කර අය කිරීමට බ්‍රිතාන්‍ය ආණ්ඩුව ගෙන තිබෙන තීන්දුව දැඩි හෙලා දැකීමට ලක් වී තිබේ.

ලබන නොවැම්බර් මාසයේ සිට ක්‍රියාත්මක කිරීමට සැරසෙන මෙම වැඩ පිළිවෙල "බරපතල වෙනස්කම් කිරීමක්" ලෙසිනුයි ඉන්දීය ව්‍යාපාරික ප්‍රජාව නියෝජනය කරන සංවිධානය විග්‍රහ කොට තිබුනේ.ඉන්දියාව, පාකිස්තානය, බංග්ලාදේශය, නයිජීරියාව, ඝානාව සහ ශ්‍රී ලංකාවේ සිට බ්‍රිතාන්‍යයට ඇතුළුවීමට බලාපොරොත්තු වන පුද්ගලයන් බ්‍රිතාන්‍ය පවුම් තුන් දහසක බැඳුම්කරයක් තැන්පත් කළ යුතු බව බ්‍රිතාන්‍ය ආණ්ඩුව නිවේදනය කළේය.ඉහත කී රටවල සිට පැමිණෙන්නන් බ්‍රිතාන්‍යයේ සංක්‍රමණික නීති අයුතු ලෙසින් යොදා ගැනීමේ වැඩි ප්‍රවණතාවයක් දක්නට ලැබෙන බවයි, බලධාරීන් පවසන්නේ.වීසා බලපත්‍රවල කාලය ඉක්මවා බ්‍රිතාන්‍යයේ රැඳී සිටියහොත් ඔවුන්ගේ බැඳුම්කර රාජසන්තක කෙරේ.

කෙසේ නමුත් බ්‍රිතාන්‍යයට ඇතුළු වන සියලුම සංචාරකයන්ගෙන් මෙවැනි බැඳුම්කරයක් අය නොකරණ බව බ්‍රිතාන්‍ය ආණ්ඩුව අවධාරණය කරයි.
"තෝරාගත් පිරිසකට පමණක් මෙම නියමු ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරෙන අතර, තෝරාගත් රටවල සියලුම සංචාරකයන් ගෙන් බැඳුම්කර ය නොකෙරේ," යනුවෙන් බ්‍රිතාන්‍ය ආණ්ඩුව නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

දක්ෂයින්ගේ කණ්ඩායමේ 3වන තැන සංගක්කාරට

චැම්පියන්ස් කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේදී දක්ෂතා දැක්වූ ක්‍රීඩකයින්ගෙන් ගෙන් සමන්විත එක්දින කණ්ඩායමේ නායකත්වය ඉන්දීය නායක මහේන්ද්‍ර සිං දෝනිට හිමිව තිබේ.ශ්‍රී ලංකාවෙන් මෙම කණ්ඩායමට නම් කර ඇත්තේ, කුමාර සංගක්කාර පමණි.එංගලන්තය හා වෙල්සයේ පැවති චැම්පියන්ස් කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේදී දස්කම් දැක් වූ ක්‍රීඩකයින් 12 දෙනෙකුගෙන් යුත් කණ්ඩායම අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් ප්‍රකාශයට පත් කරනු ලැබ තිබේ.

ඒ සඳහා තරගාවලියේ ශූරතාව දිනූ ඉන්දීය කණ්ඩායමේ ක්‍රීඩකයෝ 5 දෙනෙකු ද ඇතුළත් වෙති.තරගාවලියේ වැඩිම ලකුණු සංඛ්‍යාව වූ ලකුණු 222ක රැස් කළ කුමාර් සංගක්කාර කණ්ඩායමට තෝරා ඇත්තේ, අංක තුනේ ක්‍රීඩකයා ලෙසිනි.තරගාවලියේ ඉහළම ලකුණු ලාභියා වන ශිකර් ධාවන්, විරාත් කෝලි, රවීන්ද්‍ර ජඩේජා හා බුවනේශ් කුමාර් සෙසු ක්‍රීඩකයෝ වෙති.

අනුශූරතාව හිමි වූ එංගලන්තයෙන් තෝරා ගෙන ඇත්තේ, ජොනතන් රොට්,ජෙම්ස් ඇන්ඩර්සන් හා ජෝ රූටි යන ක්‍රීඩකයින් තිදෙනා ය.මීට අමතරව පාකිස්ථානයේ මිශ්මා උල්හක්, දකුණු අප්‍රිකාවේ රයාන් මැකලරන් හා නවසීලන්තයේ මිචෙල් මැක්ලෙනගන් සෙසු ක්‍රීඩකයෝ ලෙස කණ්ඩායමට එක්ව සිටිති.

අනර්කලී නිසා දකුණු පළාත් සභාවේ ගාලගෝට්ටියක්

පළාත් සභාවේ නීති රීති නොදැන අදහස් ප‍්‍රකාශ කරන්නට ගිය දකුණු පළාත් සභා සන්ධානයේ මන්ත‍්‍රීනි අනර්කලී ආකාර්ශා මෙනවියට දකුණු පළාත් සභා රැස්වීමේදී ඇති වූ විරෝධයක් හේතුවෙන් තරමක් උණුසුම් තත්ත්වයක් හටගත්තේ ය.

එක්සත් ජාතික පක්ෂ දකුණු පළාත් සභා මන්තී‍්‍ර අසෝක ධනවංස මහතා බලපිටියේ දී රනිල් වික‍්‍ර‍්‍රමසිංහ විපක්ෂනායකවරයාට පහරදීමට තැත්කිරීම සම්බන්ධයෙන් අද රැස්වූ සභාවාරයේ දී අදහස් ප‍්‍රකාශ කරමින් සිටියදී හදිසියේම නැගී සිටි අනර්කලී ආකාර්ශා මන්ත‍්‍රීවරිය පැවැසුවේ එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර ආරඅවුල් පිළිබඳවත් සොයා බලා මේ ආකාරයෙන් පරීක්ෂණයක් කිරීමට ද ඉල්ලා සිටින බවයි. ඒ සමගම එක්සත් ජාතික පක්ෂ පළාත් සභා මන්තී‍්‍රවරුන් විජේපාල හෙට්ටිආරච්චි, බන්දුල ලාල් බණ්ඩාරිගොඩ, අසෝක ධනවංශ ද සිල්වා ඇතුළු මන්ත‍්‍රීවරු ඝෝෂාකිරීම නිසා සභාව ගාලගෝට්ටියක් බවට පත්විය.

මෙහිදී අනර්කලී ආකාර්ශා මන්තී‍්‍රවරිය වරප‍්‍රසාද උල්ලංඝනය කරමින් අදහස් දැක්වීම නිසා ඇතිවූ මන්තී‍්‍රරුන්ගේ දැඩි විරෝධයත් සමග විපක්ෂයේ සියළුම මන්තී‍්‍රවරුන් අනර්කලී මන්තී‍්‍රවරියට විරෝධය දැක්වූහ. මේ අවස්ථාවේ පළාත් සභාවේ සභාපති සොමවංශ කෝදාගොඩ මහතා පැවැසුවේ අනර්කලී මන්තී‍්‍රවරියට සභාවේ අසුන්ගන්නා ලෙසයි.
(සුනෙත් ගාල්ලගේ/ ඕෂධ කමලනාථ)

Gossip Lanka Hot News Previous News Archive