බල්ලන් හත් දෙනකු සමඟ සුඛෝපභෝගී මෝටර් රථයක රැයක් පහන් කළ සුරූපී කාන්තාවක් මාතර නගරයම කැලැඹූ පුවතක් මාතර වල්ගම ප්‍රදේශයෙන් වාර්තා වෙයි.
ඉකුත් 25 වැනිදා රාත්‍රිය එළැඹෙත්ම මාතර ගාල්ල ප්‍රධාන මර්ගයේ වල්ගම මංසන්ධියට නුදුරින් කාර් රථයක් නවතා තිබිණි. පැය කිහිපයක් නවතා තිබූ කාර් රථය තුළ බලු රෑනක් ඒ මේ අත දුව පනිනවා දුටු ගම්මුන් විමසුම් ඇසින් කාර් රථය අසලට ළඟාවන විට කාර් රථය තුළ කාන්තාවක් ද සිටිනු දැක ඇත. මෙම කාන්තාව වීදුරුව මඳක් පහත් කරත්ම රථය තුළ සිටි බල්ලන් රෑනක් එක රොත්තට ගම්මුන්ට නොනවත්වා බුරන්නට පටන්ගෙන ඇත. එහෙත් රථය තුළ සිටි කාන්තාව ගම්මුන් සමඟ එක් වචනයක් හෝ කතා නොකර කාර් රථයේ වීදුරුව යළි වසා ඇත.
මෙම අරුම පුදුම සිදුවීම පැය කිහිපයක් බලාසිටි ගම්මුන්ට කිසියම් සැකයක් පහළ වීම නිසාවෙන් කාන්තාවට නොදැනෙන ලෙස කාරයේ රෝදවල හුළං යවා මේ පිළිබඳ පොලිසියට දැනුම් දී ඇති බව වාර්තා වෙයි.