දුම්රිය ශේරණිගත එකමුතුව පසුගියදා (7දා) ආරම්භ කළ පැය 48ක සංකේත වැඩ වර්ජනය ඊයේ (9දා) සවස අවසන් කිරීමත් සමඟ මේ වසරට අදාළ බස් ගාස්තු වැඩිවීම ලබා දෙන්නැයි රජයට බල කරමින් ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය අද (10දා) මධ්‍යම රාත්‍රියේ සිට දීපව්‍යාප්ත අඛණ්ඩ වර්ජනයක නිරත වීමට තීරණය කර තිබේ.
ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවැසුවේ බස් ගාස්තු සංශෝධනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය අනුව බස් ගාස්තු ජූලි මස 1 වැනිදා ලබාදිය යුතුව තිබුණත් මේ වසරේ අදාළ ගාස්තුව නියමිත පරිදි ලබා නොදීම නිසා එම ප්‍රතිපත්තිය අහෝසි වන අතරම එය බස් කර්මාන්තයට විශාල හානියක් සිදුකරන බවයි.
බස් කර්මාන්තය රදා පවතින්නේ බස් ගාස්තු මත බව පෙන්වා දෙන ඒ මහතා මේ වසරට අදාළ බස් ගාස්තුව නීත්‍යනුකූලව ලබා ගැනීම සඳහා බලධාරීන්, අමාත්‍යවරුන් සමඟ කොතෙක් සාකච්ඡා කළද ඒ සියල්ල අසාර්ථක වූ බැවින් මෙලෙස වර්ජනයකට එළැඹීමට තීරණය කළ බවද සඳහන් කෙළේය.