ගුරුවරිය දණගැස්‌සවූ මන්ත්‍රී යළි රිමාන්ඩ්

නවගත්තේගම නවෝද්‍යා පාසලේ ගුරුවරියක දණගැස්‌සවූ බව කියන හිටපු වයඹ පළාත් සභා මන්ත්‍රී සහ එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධාන වයඹ පළාත් සභා අපේක්‌ෂක ආනන්ද සරත් කුමාර ඇප කොන්දේසි කඩකිරීමේ චෝදනාව මත ලබන අගෝස්‌තු 08 වැනිදා දක්‌වා රක්‌ෂිත බන්ධනාගාර ගතකර තබන ලෙසට ආණමඩුව මහෙස්‌ත්‍රාත් රංග දිසානායක මහතා ඊයේ (25 වැනිදා) නියෝග කළේය.

පැමිණිලිකාර ගුරුවරිය වන ප්‍රියානි සුසිලා හේරත් මහත්මියට හා ඇගේ සැමියාට සැකකාර මන්ත්‍රීවරයාගෙන් තර්ජන හා බලපෑම් එල්ලවීම සම්බන්ධයෙන් ඔවුන් පොලිසියට පැමිණිලි කර තිබිණි. මේ ගැන ඊයේ නවගත්තේගම පොලිසිය අධිකරණයට කරුණු දැක්‌වූ අවස්‌ථාවේ මහෙස්‌ත්‍රාත්වරයා පැමිණිලිකාරියට බලපෑම් කිරීම නිසා මන්ත්‍රීවරයා යළිත් රිමාන්ඩ් භාරයේ තැබීමට නියෝග කළේය.

මෙම සිද්ධියට අදාළව මීට පෙර රිමාන්ඩ් භාරයේ සිටි සැකකාර මන්ත්‍රීවරයා මීට දින කීපයකට උඩදී ඇප කොන්දේසි යටතේ මුදා හරිනු ලැබුවේ පැමිණිලි පාර්ශවයට හිරිහැර බලපෑම් නොකරන ලෙස කොන්දේසි පනවමිනි.පැමිණිලිකාර ගුරුවරියට හා ඇගේ සැමියාට දිගින් දිගටම සැකකාර මන්ත්‍රීවරයාගෙන් තර්ජන හා බලපෑම් එල්ලවීම පිළිබඳව එම යුවළ පොලිසියට පැමිණිලි කර ඇත.නවගත්තේගම පොලිසිය විසින් සාක්‌ෂි මෙහෙයවනු ලැබීය.

දයාසිරි ගැන ඔට්‌ටුව පැරදී නිරුවතින් ඇවිදීමට ගොස්‌ දැලේ

 හෙළුවෙන් ඉන්න එපා - පොලිසියෙන් අවවාද
යට ඇඳුමින් සැරසී ඊයේ (25) පෙරවරුවේ දැරණියගල නගරයේ ඇවිදීමට සූදානම් වූ පුද්ගලයෙක්, ප‍්‍රදේශවාසීන් විසින් කරන ලද පැමිණිල්ලකට අනුව පොලිස් භාරයට ගැනෙයි.හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී දයාසිරි ජයසේකර මහතා, එක්සත් ජාතික පක්ෂය හැර නොයන බවට ඇල්ලූ ඔට්ටුව පැරදුනු පුද්ගලයෙක් මෙලෙස යට ඇදුමින් දැරණියගල නගරයට පැමිණීමට ගොස් තිබේ.

දැරණියගල - ඉලූක්තැන්න ප‍්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි ශාන්ත තිලකරත්න නොහොත් ‘‘යෝගට් ශාන්ත’’ නැමැත්තෙක් මෙලෙස ඔට්ටුව පැරදී, අද පෙරවරුවේ දැරණියගල බස්නැවතුම්පළ ඉදිරියේදී ඔට්ටුව ක්‍රියාත්මක තිරීමට යාමේදී පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.

දයාසිරි ජයසේකර එක්සත් ජාතික පක්ෂය හැරගියහොත් තමන් දැරණියගල නගරයේ පිහිටි බස් නැවතුම්පළේ සිට ඊට ආසන්නයේ ඇති තුන්මංහන්දිය දක්වා යට ඇඳුමින් ඇවිදින බවට මොහු දින 3කට පෙර අසල්වාසියෙකු සමඟ ඔට්ටුව අල්ලා ඇති බව වාර්තා වෙයි.පසුව ඔහුගෙන් ප‍්‍රකාශ කිහිපයක් සටහන් කරගත් බව පොලීසිය සදහන් කරයි.

ස්පාඤ්ඤයේ දුම්රිය අනතුරෙන් අසුවක් මරුට - Spanish train crash: 80 killed

අඩුම වශයෙන් අසූ දෙනකුට මරු කැඳවමින් තවත් බොහෝ දෙනකුට තුවාල සිදු කරමින් වයඹ දිග ස්පාඤ්ඤයේ සිදුවූ දුම්රිය අනතුරකින් අනතුරුව රටේ අගමැති වරයා තුන් දින ජාතික ශෝක කාලයක් ප්‍රකාශයට පත් කළේය.

සන්තියාගෝ ද කොම්පොස්ටෙල (Santiago de Compostela) නගරයට මදක් එපිටින් අනතුර සිදුවූ ස්ථානය දැක බලා ගත් පසුයි අගමැති මරියානෝ රහොයි (Mariano මේ බව කියා සිටියේ.අනතුරට හේතුව කුමක්දැයි සොයා ගැනීමට 'එකිනෙකට සම්බන්ධ' පරීක්ෂණ දෙකක්ම ආරම්භ කොට ඇති බව ඔහු දැනුම් දුන්නේය."එකක් අධිකරණයෙන්. අනික දුම්රිය අනතුරු පරීක්ෂණ කොමිසමින්," ඔහු පැවසීය.

මැඩ්රිඩ් අගනුවර සිට ගමන් ඇරඹු දුම්රිය අනතුරට භාජනය වන අවස්ථාවේ මැදිරි වල සිටි මගීන් සංඛ්‍යාව දෙසිය විස්සක් පමණ.පැත්තට පෙරලීමට කලින් දුම්රිය වංගුවකදී විසිවනු ආරක්ෂක කැමරා වල පටිගත වූ දර්ශන වල දැක්වේ.දිවි ගලවාගෙන ඇති රියදුරන් දෙදෙනාගෙන් එක් අයකුගෙන් ප්‍රශ්න කැරෙන බවයි වාර්තා වන්නේ.දුම්රිය සමාගම පවසා තිබුනේ දුම්රිය සඳුදා ආරක්ෂාව පිලිබඳ කාර්මික සමීක්ෂණයකට යටත් කරුණු බව.දුම්රිය වංගුවක් පසුකිරීමෙදී සාමාන්‍ය වේගයට වඩා දෙගුණයකින් ධාවනය කෙරෙමින් තිබුණු බවයි ජන මාධ්‍ය වාර්තා කළේ.

මා ලබාගත් ඡන්ද එජාප නායකතුමාගේ දෙපා මුල තබා ආණ්‌ඩුවට එක්‌වෙනවා

"සීසර්ට අයිති දේ සීසර්ට දෙනවා වගේ මා ලබාගත් ලක්‌ෂ ගණනක ඡන්ද සංඛ්‍යාව එජාප නායකතුමාගේ දෙපා මුල තියා ආණ්‌ඩුවට එක්‌ව වයඹට තරග කරන්න තීරණය කළා..." යෑයි දයාසිරි ජයසේකර මහතා ඊයේ (24 දා) විශේෂ ප්‍රකාශයක්‌ කරමින් පාර්ලිමේන්තුවේදී පැවසුවේය.

පාර්ලිමේන්තුවේ ඊයේ පැවැති විවාදය අතරතුරදී කතානායක චමල් රාජපක්‌ෂ මහතාගේ අවසරය මත විශේෂ ප්‍රකාශයක්‌ කළ දයාසිරි ජයසේකර මහතා මෙසේද කීය.මම මේ කතාව පටන් ගන්නම් එස්‌. ඩබ්ලිව්. ආර්.ඩී. බණ්‌ඩාරනායක මහතා 1959 දී හොරණ ශ්‍රීපාලි විදුහලේ දී කළ කතාවක කොටසකින්.

"මිනිසුන් දැඩි සේ එල්බගෙන සිටිය යුතු නිදහසක්‌ ඇත. ඒ මිනිසා සතු සිතීමේ නිදහසයි. එකී නිදහස නැතිව යැම සකල මානව ජනයාටම ෙ€දජනක කාලයක්‌ උදාකරනු ඇත..."

ගයාන් හා චතුරිකාගේ ප්‍රේමයට CIC අතහිත

කොළඹ බණ්‌ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවති, 'ශූර ගොවියා' තරගාවලියේ අභිෂේක මංගල්‍ය, ජනප්‍රිය නළු නිලියන් දේපලක් වූ, ගයාන් වික‍්‍රමතිලකගේ සහ චතුරිකා පීරිස් ගේ ප්‍රේමය රටට කියා පෑමට, දෙරණ නාලිකා සහ සීඅයිසී (CIC) සමගම තනාදුන් වේදිකාවක් වුවා යයි මෙම අවස්ථාවට සහභාගිවූ සෙසු කලාකරුවන් පවසති.

තරග අවසානයේ ශූර ගොවියා තරගාවලියේ ශූරතාවය දිනු ගයාන් වික‍්‍රමතිලකගේ ඌව පළාතේ ශූර ගොවියාට දිමට කියා චතුරිකාට දෙනු ලැබු මල් කළඹ, ඇය විසින් පැමිණ ගයාන්ට දී ඔහුට සුභපතා වේදිකාවෙන් බැස යාම ඊට හේතුවී ඇත.

CIC සමගම විසින් සංවිධානය කරනු ලැබු, 'ශූර ගොවියා' තරගාවලියේ එම අභිෂේක මංගල්‍ය ආර්ථික සංවර්ධන ආමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා ඇතුලූ මැති ඇමතිවරු රැසකගේ ප‍්‍රධානත්වයෙන් අති උත්කර්ශවත් ලෙස පැවැත්විණ.අපුරු විලාසිතා දැක්මකින් මෙන්ම සංගීතමය හා නර්තන අංගයන්ගෙන් පිරුණු ශූර ගොවියා ප‍්‍රසාංගික අද්දැකිම වසන්ත දුක්ගන්නාරළ මහතාගේ මෙහෙයවීම යටතේ සිදුවිය.ලංකාවේ සතර දෙසම අවරණය වන පරිදි දියත් කෙරුණු ශූර ගොවිය වැඩසටහන සඳහා කලාකරුවන්ගේද සහය ලබාගෙන තිබු අතර ප්‍රවීන කල ශිල්පින් අට දෙනෙකු, පළාත් අටකට බෙදා වෙන්කර ඒවායේ තනාපතිවරුන් ලෙස පත්කොට තිබිණ .

එක්සත් ජාතික පක්‍ෂයේන් මම ඉවත්වෙනවා - පාර්ලිමේන්තු මන්ත‍්‍රී දයාසිරි ජයසේකර

තමන් එක්සත් ජාතික පක්‍ෂයේ මන්ත‍්‍රී ධුරයෙන් සහ පක්‍ෂ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වන බව එක්සත් ජාතික පක්‍ෂ කුරුණෑගල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී දයාසිරි ජයසේකර මහතා පවසයි. ඉන් අනතුරුව එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් වයඹ පළාත් මහ ඇමති අපේක්‍ෂක ධුරය සඳහා තරඟ වැදීමට බලාපොරොත්තු වන බවද හෙතෙම සඳහන් කරයි.

 මේ සම්බන්ධයෙන් වැඩි විස්තර ඉදිරියේදී හෙළි කරන බවද මන්ත‍්‍රිවරයා පැවසීය. මේ අතර වාර්තා වන්නේ පාර්ලිමේන්තුවේ අද විශේෂ දෙයක් සිදුවන බැවින් එක්සත් ජාතික පක්ෂයේ සියලූ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ට නියමිත වෙලාවටම පාර්ලිමේන්තුවට පැමිණෙන ලෙස විපක්ෂයේ ප‍්‍රධාන සංවිධායක කාර්යාලයෙන් දුරකතන මගින් දැනුම් දීමක් කර ඇති බවයි.

ඒ අනුව දයාසිරි මන්ත්‍රීවරයා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉවත්වී, සන්ධානයෙන් පළාත් සභා නාමයෝජනා බාරදීමට නියමිතය.සන්ධානයෙන් අපේක්ෂකත්ව ලබාදුන්නද මහ ඇමති අපේක්ෂකත්වය ඔහුට ලබාදිය නොහැකි බව ප්‍රබලයින් පැවසීම නිසා ඔහු ආණ්ඩුවට එක්වීමේ අදහස තාවකාලිකව අතහැර දැමූ නමුත් ඔහුගේ අදහස මල්ඵල ගැන්වී මේ තීරණය ලැබුණ බවත් වාර්තා වුණා.දයාසිරි මන්ත්‍රීවරයා ආණ්ඩුවට ඒමේ අදහස අත්හැර දැමු බව ජනාධිපතිවරයාට වාර්තාවීමත් සමග, මහ ඇමති අපේක්ෂකත්වය දෙන බවට ඔහුට ලිඛිතව දැනුම් දුන්නැයි දේශපාලන ආරංචි වාර්තා කළා.

ශ්‍රී ලංකාවට ඩක්වර්ත් ලුවිස් ජය දෙයි - Sri Lanka 2-0 up after rainy day

සංචාරක දකුණු අප්‍රිකාව හා ශ්‍රී ලංකාව අතර පැවැති දෙවැනි එක්දින ක්‍රිකට් තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 17ක ජයක් අත්විය. වර්ෂාවෙන් දිගින් දිගටම බාධාවූ මේ තරගයේ පැය තුනකට ආසන්න කාලයක් අපතේ ගිය හෙයින් ඩක්වර්ත් ලුවිස් ක්‍රමයට ජයග්‍රහණය තීරණය විය.

කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ ඊයේ පැවැති දිවා-රාත්‍රී තරගයේ මුලින් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ඕවර් 49.2කදී කඩුලු 9ක් දැවී ලකුණු 223ක් ලබා ගත් අතර වර්ෂාවෙන් අපතේ ගිය කාලය සසදා දකුණු අප්‍රිකාවට ඩක්වර්ත් ලුවිස් න්‍යාය යටතේ ඕවර් 29කදී ලකුණු 176ක ඉලක්කයක් එල්ල විය.

දකුණු අප්‍රිකාව ඕවර් 21කදී කඩුලු 5කට ලකුණු 104ක් ලබා සිටියදී වර්ෂාව නැවැත ඇද හැලුණ හෙයින් තරගය නවතා දැමුණි. ඩක්වර්ත් ලුවිස් ගණනය අනුව ඕවර් 21ක් වෙද්දී දකුණු අප්‍රිකාව ජයග්‍රහණය සදහා ලකුණු 122ක් ලබා සිටිය යුතුව තිබූ හෙයින් ජයග්‍රහණය ශ්‍රී ලංකාවට හිමි බව විනිසුරුවෝ ප්‍රකාශ කළහ.මේ තරගයේදී කුමාර් සංගක්කාර දකුණු අප්‍රිකා - ශ්‍රී ලංකා එක්දින තරග ඉතිහාසයේදී පිතිකරුවෙකු ලබාගත් වැඩිම ලකුණු ප්‍රමාණය වාර්තා කිරීමට සමත්වූ අතර රංගන හේරත් තම 50වැනි එක්දින තරගයේදී කඩුලු 50ක් ලබා ගැනීම කැපී පෙනුණි.මෙතෙක් දෙරට අතර පැවැති එක්දින තරග ඉතිහාසයේදී ජැක් කලීස් ලකුණු 1429ක් ලබා සිටි අතර සංගක්කාර ඊයේ තරගයේදී ලබාගත් ලකුණු 37 සමග ලකුණු 1447ක් ලබා කලීස් අභිබවමින් වැඩිම ලකුණු ලාභියාගේ වාර්තාව පිහිටු විය.

ඔටුන්න හිමිකුමරා පළමුවරට මහජනයා හමුවට

කේම්බ්‍රිජ් ආදිපාද යුවළ වන විලියම් හා කේට් සිය කුළුඳුල් දරුවා සමග පළමු වරට මහජනයා හමුවට පැමිණ තිබේ.ඊයේ (23) බ්‍රිතාන්‍ය වේලාවෙන් ප.ව. 7.15ට පමණ බටහිර ලන්ඩනයේ සාන්ත මේරි රෝහලෙන් පිටතට ආ ඔවුන්, රාජකීය පවුලේ අළුත්ම සාමාජිකයා දැකබලා ගැනීමට රොක් වූ මහජනයා හා මාධ්‍යෙව්දීන් සමග කතාබස් කර තිබේ.

තවමත් සිය බිළිඳාට නමක් යොදා නැති බවත්, මෙය මුළු පවුලටම සුවිශේෂී හා සංවේදී අවස්ථාවක් බවත් ඔවුන් මෙහිදී පවසා තිබේ.පසුව ඔවුන් කෙන්සින්ටන් මාළිගය වෙත ගොස් ඇති අතර, එය අවටද ජනකායක් රොක් ව සිටි බව විදෙස් වාර්තා වල දැක්වේ.

කේම්බ්‍රිජ් හි කුමාරයා ලෙසින් හැඳින්වෙන ඊයේ උපත ලැබූ බ්‍රිතාන්‍ය රාජකීය බිලිඳා ගේ උපත සැමරීමට බ්‍රිතාන්‍ය හමුදාව ලන්ඩන් නුවර ආචාර වෙඩි මුර පැවැත්වුන අතර වෙස්ට්මින්ස්ටර් දේවස්ථානයේ සිනු නාද කෙරිණ.බ්‍රිතාන්‍යයේ විලියම් කුමාරයාට සහ කේට් කුමරියට දාව සඳුදා සවස් යාමයේ කුමාරයෙකු උපත ලැබීම සැමරීම පිණිස බ්‍රිතාන්‍යය පුරා මෙන්ම ලොව නොයෙකුත් ප්‍රදේශ වලද උත්සව සංවිධානය කොට තිබුණි.

Gossip Lanka Hot News Previous News Archive