රූකාන්ත - චන්ද්‍රලේඛා නඩුවේ විත්තිකරුවන් 10 දෙනාට සිරදඬුවම්.

ජනපි‍්‍රය ගායක යුවලක් වන රූකාන්ත - චන්ද්‍රලේඛාට හිංසා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තීන්දුව අද පානදුර මහාධිකරණ විනිසුරු කුසලා සරෝජනී වීරවර්ධන විසින් ප‍්‍රකාශයට පත් කරනු ලැබුවා. 

ඒ අනුව, මෙම සිද්ධියට චෝදනා ලැබ සිටින හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ ආරක්ෂක අංශයේ පොලිස් නිලධාරින් 9 දෙනෙකුට වසර හතරහමාර බැගින් සිරදඩුවම් මහාධිකරණ විනිසුරුවරිය විසින් නියෝග කළා. ඊට අමතරව, මෙම නඩුවේ පස්වන විත්තිකරුට වසර හතරහමාරක ලිහිල් සිරදඩුවම් නියම කරනු ලැබුවේ ඔහු ආබාධිත තත්ත්වයෙන් පසු වන බැවින්.

 මෙම නඩුවේ 7 වැනි විත්තිකරු විනිසුරුවරිය විසින් නිදහස් කර තිබෙනවා. දඬුවම් නියම වූ විත්තිකරුවන් 10 දෙනාට රුපියල් 21,000 බැගින් දඩ නියම කළ අධිකරණය රූකාන්ත - චන්ද්‍රලේඛා යුවලට රුපියල් ලක්ෂ 20 ක මුදලක් ගෙවන ලෙස ද විත්තිකරුවන්ට නියම කළා.

නව යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් දයා රත්නායක

ලුතිතන් ජෙනරාල් දයා රත්නායක මහතා 2013 අද (01) ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ විසිවෙනි යුද්ධ හමුදාපතිවරයා වශයෙන් වැඩ භාර ගනී.

කැඩෙට් නිලධාරියෙකු වශයෙන් 1980 පෙබරවාරි 06 වන දින ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිත්‍ය බලසේනාවට එක් වී සිය හමුදා දිවිය ආරම්භ කළ රත්නායක මහතා අනතුරුව 1981 ජුලි 18 වන දින දෙවන ලුතිතන් වරයකු ලෙස අධිකාරියට පත්වී ශ්‍රී ලංකා පාබල හමුදාවට එක් විය.

අධිකාරියට පත්වීමෙන් අනතුරුව හෙතෙම සිය වෘත්තියට අදාළව කමාන්ඩෝ නිලධාරි පාඨමාලාව, තරුණ නිලධාරී පාඨමාලාව, බලඇණි ආධාරක අවි පාඨමාලාව, ඉන්දියාවේ කණිෂ්ඨ සහ ජ්‍යේෂ්ඨ අණ දෙන පාඨමාලා, එක්සත් රාජධානියේ ක්‍රෑන්ෆීල්ඩ් සරසවියේ ආරක්ෂක කළමනාකරණ පාඨමාලාව, උසස් ආරක්ෂක ඩිප්ලෝමා පාඨමාලාව සහ ඇමරිකා එක්සත් ජනපදයේ හවායි හොනලුලූහි පිහිටි ආසියා - පැසිෆික් ආරක්ෂක අධ්‍යයන මධ්‍යස්ථානයේ උසස් සන්නිවේදන නිපුණතා පාඨමාලාව වැනි උපාධි පාඨමාලා රාශියක් හදාරා ඇත. එමෙන්ම හෙතෙම බංගලාදේශ ආරක්ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාලය, චීනයේ ජාතික ආරක්ෂක සරසවිය සහ ඇමරිකා එක්සත් ජනපදයේ ඇරිසෝනා ප්‍රාන්තයේ ෆෝර්ට් නැචුකාහි පිහිටි හමුදා බුද්ධි පාසල වැනි ආයතන මගින් උපාධි පාඨමාලා හදාරා ඇත.

ගැහැනුන්ගේ කකුල කුලියට ගනු ලැබේ !

ජපානය දැන්වීම් ප්‍රචාරණ කලාවේ තවත් පියවරක් ඉදිරියට ගොස් සිටී. අලුත් පියවරේ දී ජපානය දැන්වීම් ප්‍රචාරණයට ප්‍රයෝජනයට ගන්නේ ගැහැනුන්ගේ කලව ප්‍රදේශයයි. දැන්වීම් ප්‍රචාරය කිරීමේ අලුත් ක්‍රමය ජපානයේ ටෝකියෝ නුවරට පමණක් තවමත් සීමා වී තිබේ. කවදාවත් ම කිසිම කෙනකුගේ කල්පනාවට නොඑන තැනක්, දැන්වීම් පළකරන්නට ටෝකියෝ නුවරට අවශ්‍ය වී තිබෙන්නේ අනෙක් සියලුම ආකාරයේ් දැන්වීම් පළකිරීම්වලින් ටෝකියෝ නුවර හෙම්බත් වී ඇති නිස යි. ජපානයේ ටෝකියෝ නුවර දී දැන්වීමක් පළකර පුද්ගලයකුගේ අවධානය ඒ දෙසට යොමුකරවා ගන්නට බැරි තරම් ය. එතරම් දැන්වීම් ප්‍රමාණයක් එහි තිබේ.

මේ නිසා දැන්වීම් ප්‍රචාරණ ආයතනවලට දැන්වීම් පළකරන්නට අලුත් අලුත් විදි යොදාගන්නට සිදුව ඇත. විට් දැන්වීම් පළකිරීමේ ආයතනය මත එකී අභියෝගය පැටවුණේ නිරායාසයෙනි. දැන්වීම්වලින් සංතෘප්තභාවයට එළැඹි ටෝකියෝ නගරයේ දී පුද්ගල ආකර්ෂණය දිනාගත හැකි මඟකින් දැන්වීමක් පළකිරීම විට් ආයතනය ජයගත්තේ ගැහැනුන්ගේ කලව ප්‍රදේශය දැන්වීම්වලට යොදාගනිමිනි. ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි හිදෙනොරි අත්සුමීට ඒ ගැන කියන්නට තිබෙන්නේ මෙවැන්නකි.

දැන්වීමක් පළකරන්න එතන හොඳ සර්ව සම්පූර්ණ තැනක්. පිරිමින් නිරන්තරයෙන්ම ඒ දැන්වීම් දිහා බලනවා. ඒ බැල්මට නිරාවරණය වෙන්න කැමැති ගැහැනු ළමයිනුත් ඉන්නවා” නව පන්නයට දැන්වීම් ප්‍රදර්ශනය කිරීමට දැනටමත් කාන්තාවෝ 3000 ක් පමණ ඉදිරිපත් වී සිටිති.

හිටපු පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ඕස්ට්‍රේලියාවෙන් රැකවරණ පතයි

ප්‍රිශාන්ත ජයකොඩි සේවය අතහැර ගියා සේ සලකයි
රත්නපුර කොට්ඨාශය භාරව කටුයුතු කරමින් සිටි හිටපු පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී (SSP) ප‍්‍රිශාන්ත ජයකොඩි මහතා මෙරටින් ඕස්ටේ‍්‍රලියාවට පලා ගොස් එරටින් දේශපාලන රැකවරණ ඉල්ලා ඇතැයි වාර්තා වෙයි.

ඕස්ටේ‍්‍රලියාවේ ඉගෙනුම ලබන සිය පුතා බැලීම සඳහා පසුගිය ජූනි මස 29 වැනිදා විදේශ ගත වී ඇති ඔහු ඒ සඳහා පොලිස් දෙපාර්තමේන්තුවෙන් නිවාඩු ලබා ගෙන ඇත්තේ ජූලි මස 10 වැනිදා දක්වා දින 10ක කාලයකි.

ඔහු අවසන් වරට රත්නපුරයේ සේවය කරන කාලය තුල ඇඹිලිපිටිය ප‍්‍රාදේශීය සභාවේ සභාපති එම්.කේ. අමිල සහ රත්නපුර නියෝජ්‍ය නගරාධිපතිවරයා ගෙන්ද එල්ලවූ මරණිය තර්ජන එල්ල වී තිබුණේ යයි වාර්තා පල විය.කෙසේ වෙතත් නිවාඩුව අවසන්ව ඔහු සිය කොට්ඨාශය වෙත වාර්තා කල යුතුව තිබුණද මෙතෙක් ඔහු සේවයට වාර්තා කර නැත. මේ හේතුවෙන් පසුගිය 16 වැනිදා ඔහු පරිහරණය කල නිල වාහනය යළි පොලිස් භාරයට ගෙන ඇත. මේ අතර ඊයේ පස්වරුවේ පොලිස් දෙපාර්තමේන්තුව සඳහන් කලේ ප‍්‍රිශාන්ත ජයකොඩි මහතා සේවය අත්හර ගිය අයෙකු සේ සලකන බවයි.කෙසේ වෙතත් ඒ මහතා මේ වන විට ඕස්ටේ‍්‍රලියාවේ රැඳී සිටීම සඳහා එරටින් දේශපාලන රැකවරණ ඉල්ලා ඇතැයිද වාර්තා වෙයි.

ශ්‍රී ලංකාවට දැවැන්ත ජයක් - Dominant Sri Lanka make it 4-1

සංචාරක දකුණු අප්‍රිකාව හා ශ්‍රී ලංකාව අතර තරග පහකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය විජග්‍රාහීව අවසන් කරමින් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ඊයේ අවසන් තරගය ලකුණු 128කින් ජයග්‍රහණය කළහ. ඒ අනුව දෙරට අතර එක්දින තරගාවලියේ ජය 4-1ක් ලෙස ශ්‍රී ලංකාව ඉදිරියේ සටහන් විය.කොළඹ ආර් .ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැති දිවා-රාත්‍රී තරගයේදී මුලින් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව කඩුලු 4කට ලකුණු 307ක් ලබාගත් අතර අප්‍රිකානුවෝ ඕවර් 43.5කදී ලකුණු 179කට දැවී ගියහ. එක්දින තරගාවලියේ වීරයා ලෙස කුමාර් සංගක්කාර හා ඊයේ තරගයේ වීරයා ලෙස ටී.එම්.ඩිල්ෂාන් සම්මාන හිමි කර ගත්හ.

මහේල, මාලිංග හා හේරත් වැනි පළපුරුදු ක්‍රීඩකයින් තිදෙනෙකු විවේක ගන්වා පිටියට පිවිසි ශ්‍රී ලංකාවට ජයග්‍රහණය උදා කිරීමේදී හිටපු නායකයින් දෙදෙනෙකු වන සංගක්කාර හා ඩිල්ෂාන්ගේ දායකත්වය කැපී පෙනෙණ අයුරින් ලැබුණි.ඩිල්ෂාන් තම 18වැනි ශතකයට ලකුණක් අඩුවෙන් තිබියදී අවාසනාවන්ත ලෙස දැවී ගිය අතර සංගක්කාර 79වැනි එක්දින අර්ධ ශතකය වාර්තා කරමින් නොදැවී සිටියේය.

සංගක්කාර වෙනදා එල්ල කරන ක්‍රිකට් පොතේ තාක්ෂණික පහරවලට පමණක් සීමා නොවී පන්දු 45කදී හතරේ පහර 12ක් සමග වේගවත්ව ලකුණු 75ක්වාර්තා කළේය. ඩිල්ෂාන් පන්දු 110කදී හතරේ පහර 13ක් සමග ලකුණු 99ක් ලබා සිටියදී වේග පන්දු යැවූ මැක්ලරන්ගේ යෝකර් පන්දුවකට දැවී ගියේය.ශ්‍රී ලංකාව තවත් රටකට එරෙහිව පැවැත්වූ එක්දින ක්‍රිකට් තරගාවලියකදී වැඩිම ලකුණු ලාභියා ලෙස වාර්තා පොතට එක්වූ සංගක්කාර මෙවර තරග 5කින් සමන්විත තරගාවලියේදී ලකුණු 372ක් ලබා ගැනීම විශේෂත්වයකි.

කාඩිෆ්වල යකා නැටූ කොටියා ළඟ ශ්‍රී ලංකාවේ ගමන් බලපත්‍රයක්

ක්‍රිකට් තරගාවලියක් අතරතුරදී එංගලන්තයේ කාඩිෆ් ක්‍රීඩාංගණයට ඊලාම් ධජයක් රැගෙන හදිසියේ කඩාවැදුණු කොටි සාමාජිකයාට ශ්‍රී ලංකාවේ විදේශ ගමන් බලපත්‍රයක් තිබෙන බවට මැංචිස්ටර් ජාත්‍යන්තර පොලිසිය දන්වා ඇතැයි රහස් පොලිසිය ඊයේ (30) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතාට දැනුම් දුන්නේය.යශෝධරන් සදසරමූර්ති නමින් එම් 1193431 දරන විදේශ ගමන් බලපත්‍රය 2000/03/08 වන දින මෙරට ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කොට ඇති බවට වැඩිදුරටත් තොරතුරු අනාවරණය වේ.

මේ සැකකරුට අයත් බ්‍රිතාන්‍ය විදේශ ගමන් බලපත්‍රයට අදාළව ගුවන්ගමන් තහනම් කිරීමේ නියෝගයක් මේවනවිටත් අධිකරණය මගින් නිකුත් කොට ඇති අතර එය ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත බාරදුන් බවට රහස් පොලිසිය අධිකරණයට දැන්වීය.මොහු අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර පොලිස් මූලස්ථානය සමඟ සම්බන්ධවී විමර්ශන පවත්වන බව පැවසූ පොලිසිය ප්‍රභාකරන් රාජු සදසර මූර්ති, මනිමාරන්, සදසරමූර්ති යශෝධරන්, යශෝධරන් සඳසරමූර්ති යන නම්වලින් පෙනී සිට ඇති බව පැවැසීය.

එක්සත් එමිර් රාජ්‍යයේ කටාර් කොමර්ෂල් බැංකුව විසින් එච්. එස්. සුල්තාන් ජෙස්ටින් අල්හානි වෙත නිකුත් කොට තිබූ විද්‍යුත් කාඩ්පතේ දත්ත සොරාගෙන ඒ. ටී. එම්. ස්වයංක්‍රීය යන්ත්‍ර මගින් මොහු 2012/05/20 වන දින අවස්ථා 70 වකදී පැය හතරක් ඇතුළත ජා-ඇළ, කඳාන, වත්තල, බොරැල්ල හා නවලෝක යන ප්‍රදේශවලින් රුපියල් ලක්‍ෂ 56ක් සොරාගෙන ඇත.

දොළොස්‌ හැවිරිදි දැරිය ගැබිනියක කළ තරුණයා අත්අඩංගුවට

දොළොස්‌ හැවිරිද බාල වයස්‌කාර දැරියක්‌ පස්‌මස්‌ ගැබිනියක්‌ බවට පත් කළ විසිඑක්‌ හැවිරිදි තරුණයකු හෝමාගම මූලස්‌ථාන පොලිසිය මගින් පෙරේදා (29 දා) උදේ හෝමාගම පිටිපන ප්‍රදේශයේ කුලී නිවසක රැඳී සිටියදී අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම තරුණයා අත්අඩංගුවට ගන්නා අවස්‌ථාවේ ගැබිනියකව සිටි බාලවයස්‌කාර දැරිය ද පොලිස්‌ භාරයට ගෙන ඇත.

මෙම බාලවයස්‌කාර දැරිය හා තරුණයා පිටිපන ප්‍රදේශයේ කුලී නිවසක රැඳී සිටින බවට ප්‍රදේශවාසීන්ගෙන් ලද තොරතුරකට අනුව මෙම දෙදෙනා අත්අඩංගුවට ගත් බව ද පොලිසිය කියයි. මෙම බාලවයස්‌කාර දැරිය පොලිසිය විසින් හෝමාගම මූලික රෝහලේ වෛද්‍ය පරීක්‍ෂණයක්‌ සඳහා යොමු කිරීමෙන් පසු ඈ පස්‌මස්‌ ගැබිනියක බව හෙළි වී තිබේ.තරුණයා හා බාලවයස්‌කාර දැරිය අවිස්‌සාවේල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර, එම දෙදෙනාගේම දෙමාපියන් ද මේ සම්බන්ධය පිළිබඳ දැනුවත්ව සිට ඇතැයි හෙළි වූ බව ද පොලිසිය කියයි.

13 ට එරෙහිව සංඝාඥාවක්‌ නිකුත් කරන්න - බොදුබල සේනා

දේශයට, ජාතියට මහා අභියෝගයක්‌ව පවතින 13 වැනි සංශෝධනය අහෝසි කරන ලෙස ප්‍රකාශ කරමින් සංඝාඥාවක්‌ නිකුත් කරන ලෙස මහානායක ස්‌වාමීන්ද්‍රයන් වහන්සේගෙන් ඉල්ලීමක්‌ කරන බව බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමිපාණෝ මල්වතු පාර්ශ්වයේ අතිපූජ්‍ය මහානායක ස්‌වාමීන්ද්‍රයන් වහන්සේ බැහැ දකිමින් ඊයේ (30 දා) පැවසූහ.

උතුරු පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍ය ලෙස මැතිවරණයට ඉදිරිපත් වී සිටින අපේක්‌ෂකයාගේ ප්‍රකාශ ඉතා භයානක බව ඥානසාර හිමියෝ පැවසූහ.

13 වැනි සංශෝධනයට ශ්‍රී ලංකාවේ සියලුම බෞද්ධ හා දැහිතැති ප්‍රජා සංවිධාන ද විරෝධය පළකරන බව පැවසූ ඥනසාර ස්‌වාමීන් වහන්සේ මෙම සියලු සංවිධාන සහ මහා සංඝරත්නය ඒකාබද්ධව මහනුවරදී පවත්වන අධිෂ්ඨාන පූජාවකදී 13 වැනි සංශෝධන අහෝසි කරන ලෙස දන්වා සංඝාඥාවක්‌ නිකුත් කිරීමට මහානායක ස්‌වාමීන්ද්‍රයන් වහන්සේගේ අවසරය ඉල්ලා සිටින බව ඥනසාර ස්‌වාමීන් වහන්සේ අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහානායක ස්‌වාමීන්ද්‍රයන් වහන්සේගෙන් ඉල්ලා සිටියහ.ඉඩම් සහ පොලිස්‌ බලතලවලටත් වඩා බලතල උතුරු පළාත් සභාවට ලබා ගැනීමට කටයුතු කරන බවට මේ වන විටත් උතුරු පළාත් සභාවේ මහ ඇමැති අපේක්‌ෂක කර තිබෙන ප්‍රකාශය ඉතා බලගතු මෙන්ම රටේ ඒකීය භාවයට අභියෝගාත්මක බවද පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ ප්‍රකාශ කළහ.

Gossip Lanka Hot News Previous News Archive