ඇන්කර් 1+, ඇන්කර්, ඩයමන්ඩ් සහ මැලිබන් කිරිපිටි වෙළදපළෙන් ඉවතට

කාර්මික තාක්‍ෂණික ආයතනය විසින් පරීක්‍ෂා කර ඩී. සී. ඩී. හෙවත් DICYANDAMIDE තිබෙන බවට වාර්තා නිකුත් කර ඇති කිරිපිටි වහාම වෙළෙඳපොළෙන් ඉවත් කරන ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල මහතා අදාළ කිරිපිටි සමාගම්වලට දැනුම් දී තිබේ.

සෞඛ්‍ය අමාත්‍යංශය මඟින් නිකුත් කර ඇති නිවේදනයක දැක්වෙන්නේ මැලිබන් ආයතනයටත්, ෆොන්ටෙරා සමාගමටත්, පී. එම්. මොහොමඩ් අලී සහ සමාගමටත් මෙම දැනුම් දීම කර ඇති බවයි.දැනටමත් කාර්මික තාක්‍ෂණික ආයතනය විසින් ඩී. සී. ඩී. ඇතැයි අනාවරණය කර ගන්නා ලද ඇන්කර් 1+, ඇන්කර් සම්පූර්ණ යොදය සහිත කිරිපිටි, මැලිබන් යොදය සහිත කිරිපිටි, ඩයමන්ඩ් කිරිවල අදාළ කාණ්ඩ අංක සහිත තොග මෙලෙස වෙළෙඳපොළෙන් වහාම ඉවත්කර ගන්නා ලෙස දැනුම් දී ඇත.

සෙසු කිරිපිටි ඛාණ්ඩවලින්ද සාම්පල ලබාගන්නා අතර, ඒවායේ තවදුරටත් ඩී. සී. ඩී. ඇත්දැයි පරීක්‍ෂා කිරීම සඳහා කාර්මික තාක්‍ෂණික ආයතනය වෙත යොමු කෙරෙන බවත්, ඒවායේ ඩී. සී. ඩී. ඇති බවට තහවුරු වුවහොත් ඒවාද වෙළෙඳපොළෙන් ඉවත් කිරීමට කටයුතු කරන බවත් සෞඛ්‍ය අමාත්‍යංශය නිකුත් කර ඇති එම නිවේදනයේ දක්වා තිබේ.එමෙන්ම නවසීලන්තයෙන් ගෙන්වන සියලුම කිරිපිටිවල සාම්පල වරායේදී ලබාගෙන ඒවායේ ක්ලොස්ටි්‍රඩියම් බොටලිනම් Clostridium Botulinum නමැති බැක්ටීරියාව නොමැති කිරිපිටි තොග පමණක් වරායෙන් මුදා හැරීමට තීරණය කොට ඇති බවද සෞඛ්‍ය අමාත්‍යංශය කියයි.

ශ්‍රී ලංකාවේ ඒඩ්ස් වැඩිවේ

මේ වසරේ ඒඩ්ස් රෝගයට ළංවී සිටින එච්.අයි.වී. ආසාදිත තත්ත්වයට පත් පුද්ගලයන් 4500ක් පමණ ශ්‍රී ලංකාවේ සිටින බවට ඇස්තමේන්තු ගතකර ඇතැයි ලිංගාශ්‍රීත සහ ඒඩ්ස් රෝග මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්‍ෂ වෛද්‍ය සිසිර ලියනගේ මහතා පවසයි. එහෙත් මේ වන විට එච්.අයි.වී. ආසාදිත තත්ත්වයට පත්ව සිටින හඳුනාගෙන ඇති රෝගීන්ගේ සංඛ්‍යාව 1739ක් බව තහවුරු කරගෙන ඇතැයිද වෛද්‍ය ලියනගේ මහතා සඳහන් කෙළේය. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ක්‍රමවේදය මත මේ ඇස්තමේන්තුගත කිරීම සිදුකොට ඇති බවද ඔහු පැවැසීය.

ඔහු පවසන අන්දමට මේ වසරේ එච්.අයි.වී. ආසාදිත ළමයින් සංඛ්‍යාව 64කි. ඇස්තමේන්තුගත කර ඇති පුද්ගලයන් ඔවුන්ගේ සිරුර තුළට එච්.අයි.වී. ආසාදිත වෛරසය ඇතුළුවී තිබෙනු නොදැන සිටිනවා විය හැකි බැවින් මෙවැනි සැකසහිත පුද්ගල යන් හැකිතරම් දුරට පරික්‍ෂාවට භාජන කළයුතු බවද ඔහු පෙන්වා දෙයි.
වෛද්‍ය සිසිර ලියනගේ මහතා සඳහන් කරන්නේ පසුගිය වසරේ මුල් හය මාසයට වඩා මේ වසරේ මුල් හය මාසය ඇතුළත රෝගීන්ගේ වැඩිවීමක් දකින්නට ලැබෙන බවයි.

ඒඩ්ස් රෝගයට ළංවන එච්.අයි.වී. ආසාදිත තත්ත්වයට පත්වූවන්ට ඒ.ආර්.සී. නමැති වෛරස් අඩපණ වන බෙහෙත් කඩිනමින් ලබාගතහොත් එය ඒඩ්ස් දක්වා පැතිරී යෑම ටික කලකට වළක්වා ගතහැකි බවද ඔහු පැවැසීය. ශ්‍රී ලංකාවේ ඒඩ්ස් රෝගය වැලඳී මේ වන විට 299 දෙනකු මියගොස් ඇත. මේ වසරේ ඒඩ්ස් ආශ්‍රීත රෝගයෙන් 16 දෙනකු මියගොස් ඇති බවද හෙළිවී තිබේ.

වාස් ගුණවර්ධනගේ පුත් රවිඳු ගුණවර්ධන අත්අඩංගුවට

බම්බලපිටියේ කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් ෂියාම් වෙඩි තබා මරා දැමූ බවටසැකපිට හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතාගේ පුත් රවිඳු ගුණවර්ධන අද (07) අලුයම අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් ආරංචිමාර්ග කියයි.

 මොහු රහස් පොලිස් අත්අඩංගුවට පත් වී ඇත්තේ පැපිලියා‍න ප්‍රදේශයේ පිහිටි නිවසකදී ය.හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතාද මේ නඩුවේ සැකකරුවෙකි.රවිඳු ගුණවර්ධනට එරෙහි වරෙන්තුවක් ද තිබේ. ඒ මාලබේ තොරතුරු තාක්ෂණික ආයතනයේ සිසුවෙක්ට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පවරා තිබෙන නඩුවේ දී ඔහු උසාවිය හමුවේ පෙනී නොසිටි බැවින් ය.

මේ වනවිට රවිඳු ගුණවර්ධන රහස් පොලිසියට රැගෙන ගොස් කටඋත්තර සටහන් කර ගනිමින් පවතී. අද දවසේ බොහෝ දුරට ඔහු උසාවිය හමුවට ඉදිරිපත් කරන්නට නියමිත බව ආරංචි මාර්ග කියයි.

විස එන්නත් කර බිරිය මැරූ සැමියාට මරණ දඬුවම

එන්නත් කටුවකින් විස වර්ගයක් තම බිරියගේ සිරුරට විද මරණයට පත්කළ විවාහක සැමියකුට එරෙහිව කෑගල්ල මහාධිකරණයේ විභාග වූ නඩුවක තීන්දුව ප්‍රකාශයට පත් කළ මහාධිකරණ විනිසුරු මේනකා විජේසුන්දර විනිසුරුතුමිය චූදිත විත්තිකරුට ඊයේ (6) මරණ දඬුවම නියම කරනු ලැබීය.

මෙසේ දඬුවමට යටත් කරනු ලැබුවේ දැරණියගල අංහෙට්ටිගම පදිංචි සමරසිංහ දිසානායකලාගේ සරත් විමලවීර නම් 51 හැවිරිදි දෙදරු පියකුටය. මේ සිද්ධියෙන් මියගොස් ඇත්තේ දැරණියගල කොස්වත්ත අංහෙට්ටිගම පදිංචි බාලසූරිය ආරච්චිලාගේ මාලනි නම් (39) හැවිරිදි කාන්තාවකි.

2004/12/26 දින අවිස්සාවේල්ල මහ රෝහලට ඇතුළත් වී ඇති මියගිය අය අවිස්සාවේල්ල මහ රෝහලේ අධිකරණ වෛද්‍ය විශේෂඥ අජිත් තෙන්නකෝන් මහතා ඉදිරියේ ප්‍රකාශයක් ලබා දෙමින් චෝදිත තම ස්වාමිපුරුෂයා 2004/12/27 දින තමා නිවසේ සිටියදී නිවසට පැමිණ තමාට පහරදී බෙල්ල මිරිකා ඇඳට දමා තමාගේ දකුණුපාදයේ කලවා ප්‍රදේශයට ඉන්ජෙක්ෂන් කටුවකින් ඇන්න බවත්, ඉන් ඇතිවූ අසනීප තත්ත්වය නිසා රෝහලට ප්‍රතිකාර සඳහා පැමිණි බවත් ප්‍රකාශ කර තිබුණි.

පැහැරගත්ත ටයිම් කීපර් කඩුවෙල දමා යයි

"සුදු වෑන් එකක ඇවිත් මාව පැහැරගත්ත අය මගේ ඇස්‌ දෙක බැඳලා මට හොඳටම පහර දුන්නා. බස්‌වලින් කප්පම් ගන්නවද කියලා මගෙන් ප්‍රශ්න කර කර මට වධ දුන්නා. ආයෙ බස්‌වලින් කප්පම් ගත්තොත් මරලා දානවා කියලා තර්ජනය කරලා ඊයේ (06 වැනිදා) පාන්දර මාව කඩුවෙල පැත්තෙ වෙලකට තල්ලු කරලා යන්න ගියා" යෑයි පැහැරගැනීමට ලක්‌ව දිවි ගලවාගත් පිටකොටුව බස්‌ නැවතුම්පළේ වේලා සටහන්කරු පොලිසිය ඉදිරියේ පාපොච්චාරණය කර ඇත.

පැහැර ගැනීමට ලක්‌වූ ගාමිණී මහතා මුල්ලේරියාව රෝහලෙන් ප්‍රතිකාර ගැනීමෙන් පසු ඊයේ පෙරවරුවේ සිය නිවසට ගොස්‌ තිබේ.පෙරේදා දහවල් 12.00 ට පමණ ගාමිණී මහතා පිටකොටුව ගුණසිංහපුර බස්‌ නැවතුම්පළේ රාජකාරි කරමින් සිටියදී නාඳුනන පිරිසක්‌ පැමිණ ඔහු පැහැර ගන්නා ලදී.

පසුව ඔහුගේ දැස්‌ බැඳ ඇති නාඳුනන කණ්‌ඩායම ඔහුට පහර දෙමින් බස්‌ රථවලින් කප්පම් මුදල් ගන්නවාදැයි විමසා ඇත. බස්‌වලින් කප්පම් ගන්නා වෙනත් පුද්ගලයන් පිළිබඳව ද ඔහුගෙන් මෙම පිරිස විමසා තිබේ.පසුව ඊයේ අලුයම මෙම නාඳුනන පිරිස ගාමිණී මහතා කඩුවෙල ප්‍රදේශයේ වෙල්යායක්‌ අසලදී මුදාහැර පලාගොස්‌ ඇත.

හමුදා ප්‍රචණ්ඩත්වය නිමාවී නැහැ - RSF

පාරිසරික උද්ඝෝෂණයක් වාර්තා කිරීමේ යෙදුනු ජනමාධ්‍යවේදීන්ට වැලිවේරියේ දී පහර දීම හෙළා දකින දේශසීමා නොමැති මාධ්‍යවේදියෝ හෙවත් RSF සංවිධානය පවසන්නේ 'ශ්‍රී ලංකාවේ යුද්ධය හමාර වුවත්, සන්නද්ධ හමුදා විසින් සිදු කරන ප්‍රචණ්ඩ ක්‍රියා නිමා වී නැති,' බවයි.

ප්‍රචණ්ඩ ප්‍රහාර වලට ලක්වූ මාධ්‍යවේදීන් ඒ බව පැමිණිලි කළ කල්හි පොලිසිය කිසිදු පියවරක් ගැනීමෙන් වැළකී සිටින අතරේ 'මාරාන්තික අවි ගත් යුද හමුදාව විසින් ප්‍රහාර සංවිධානය කොට දියත් කරනු ලබන,' බවයි පැරිසියේ සිට නිකුත් කළ නිවේදනයක් මගින් RSF සංවිධානය පවසා ඇත්තේ.මේ අතර ප්‍රහාරය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරන ශ්‍රී ලංකා වෘත්තීය පත්‍ර කලාවේදීන්ගේ සංගමය, ප්‍රහාරයට සම්බන්ධ සියලු සැකකරුවන් නීතිය ඉදිරියට ගෙන ඒමට කටයුතු කරන්නැයි ආණ්ඩුවෙන් ඉල්ලා සිටියි.

'විවිධ පාර්ශවවල වුවමනා සංතෘප්ත කිරීම' පිණිස මහජනතාව සහ මාධ්‍යවේදීන් ට හිරිහැර කරන ක්‍රියාදාමයට නැවතීමේ තිත තැබීමට කාලය එළඹ ඇති බව ද එහි ලේකම් රංග කලංසූරියගේ අත්සනින් යුතුව නිකුත් කොට තිබෙන නිවේදනයේ දැක්වේ.මේ අතර ශ්‍රී ලංකා ජනමාධ්‍ය වේදීන්ගේ වෘත්තීය සමිතිය සඳුදා පටන් විරෝධතා සතියක් දියත් කොට තිබේ.

සුදු වෑන් රියකින් පැමිණ ටයිම් කීපර් පැහැර ගනි


මොහු කප්පම් ගන්නා අයෙක්‌'
- පොලිසිය කියයි
පිටකොටුව ගුණසිංහපුර පෞද්ගලික බස්‌ නැවතුම්පළට ඊයේ (05 වැනිදා) දහවල් කඩාවැදුණු නාඳුනන කණ්‌ඩායමක්‌ එහි රාජකාරි කරමින් සිටි වේලා සටහන්කරුවකුට (ටයිම් කීපර්ට) පහර දී දෙනෝදාහක්‌ දෙනා බලා සිටියදී සුදු පාට වෑන් රථයකින් පැහැරගෙන ගොස්‌ ඇත.

පැහැරගැනීමට ලක්‌ව ඇත්තේ ජාතික ගමනාගමන කොමිසම මගින් පත්කර සිටි වේලා සටහන්කරුවකු වන ඒ. ගාමිණී නමැති අයෙකි. අංගොඩ අඹතලේ ප්‍රදේශයේ පදිංචිකරුවකු වූ ගාමිණී වසර දෙකකට ආසන්න කාලයක සිට වේලා සටහන්කරුවකු ලෙස ගුණසිංහපුර පෞද්ගලික බස්‌ රථ ගාලේ සේවය කරන බව පොලිසිය පවසයි.කොන්දොස්‌තරවරුන්ට තර්ජන කරමින් කප්පම් මුදල් ලබාගන්නා බවට තොරතුරු පොලිසිය වෙත ලැබී ඇති බව ජ්‍යෙෂ්ඨ පොලිස්‌ නිලධාරියෙක්‌ කියා සිටියේය.

එහෙත් කිසිදු බස්‌රථ රියෑදුරකු හෝ කොන්දොස්‌තරවරයකු ඒ පිළිබඳව පොලිසියට පැමිණිලි කර නැත.ඊයේ දහවල් 12.00 ට පමණ පිටකොටුව ගුණසිංහපුර බස්‌නැවතුම්පළේ වේලා සටහන්කරුගේ කාර්යාලයට පැමිණි පුද්ගලයකු ගාමිණී මුණගැසී හදිසි කාරණයක්‌ පිළිබඳව සාකච්ඡා කිරීමට යෑයි කියමින් කාර්යාලයෙන් පිටතට කැඳවාගෙන ගොස්‌ ඇත.

ෆොන්ටෙරා නිෂ්පාදන ශ‍්‍රී ලංකාවට ආනයනය තහනම්

ශ්‍රී ලංකාවට ආනයනය කරන අධි ‍ප්‍රෝටීන ( කිරි මෝරු ) අඩංගු ආහාර පාන වෙළඳපලට නිකුත් කිරීම තාවකාලික අත්හිටුවීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර ඇත. මේ අනුව නවසීලන්තයෙන් මෙරටට ආනයනය කරන අධි ‍ප්‍රෝටීන් අඩංගු ළඳරු කිරිපිටි, ක්ෂණික පාන වර්ග, කායවර්ධන ආහාර පාන ඇතුළු ආහාර වර්ග මෙසේ වරායෙන් නිදහස් කිරීම අත්හිටුවන ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල මහතා බලධාරීන්ට උපදෙස් දී ඇත.

මෙම අධි ‍ප්‍රෝටීන් හෙවත් ‰ Whey Proteinඅධි සාන්ද්‍රණයන් තුළ ක්ලොස්ට්‍රිඩියම් බොටලිනම් නැමැති බැක්ටීරීයාව ඇතුළත් වී ඇති බවට වාර්තා වී ඇතැයි පරීක්ෂණ වලදී හෙලිව ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි.මෙම බැක්ටීරියාව ශරීරගත වීමෙන් අනතුරුව “බොටලියුස්”නැමැති ශරීරය මුළු මනින්ම අප්‍රාණික කරන රෝගී තත්තවය හට ගන්නා බවත් මෙය ඉතා බරපතල තත්තවයක් බවත් සෞඛ්‍ය අමාත්‍යංශයේ ජේෂ්ඨ ප්‍රකාශකයෙක් කීය.

නවසීලන්ත රජය මගින් රුසියාව , චීනය, හා සෞදිඅරාබියාවට වැනි රටවලට අපනයනය කළ අධි ‍ප්‍රෝටීන අඩංගු ආහාර පාන වල බොටලිම් නැමැති බැක්ටීරියාව අන්තර්ගත බව හෙලිව ඇත.

Gossip Lanka Hot News Previous News Archive